ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්!

85
(Photo by MUNIR UZ ZAMAN / AFP)

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (15) බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර ඩකා හිදී පැවැත්වුණු අතර එම තරගයෙන් ලකුණු 25ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය. 

එම ජයත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොකඩවා විස්සයි විස්ස තරග 12ක් ජය ගනිමින් 2016/17 කාලය තුල ඔවුන් විසින්ම තබා තිබූ වාර්තාව නැවත වතාවක් අලුත් කරන්නට ඇෆ්ගනිස්තානය සමත් විය.

නජිබුල්ලාගේ ප්‍රහාරයෙන් ඇෆ්ගන් ජයග්‍රාහී වාර්තාව තවදුරටත් ඉදිරියට

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ (14) සිම්බාබ්වේ හා…

කාසිය වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක රෂීඩ් ඛාන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ තරගාවලියේ ආරම්භක තරග දෙකේ දී ම කාසියේ වාසිය දිනා ගත් කණ්ඩායම් පළමුව පන්දු යැවීමට ගත් තීරණය වෙනස් කරමින්. 

කෙසේ නමුත් ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 40ක් වැනි අඩු මට්ටමේ ලකුණු ප්‍රමාණයක් තුල දැවී ගියේ කාසියේ වාසියේ තීරණය ගැන චකිතයක් ඇති කරමින්. 

කෙසේ නමුත් සාර්ථක ලකුණු සටහනක් කරා ඇෆ්ගනිස්තානය පියමන් කළේ ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් නිසාවෙනි. එහි දී මොහොමඩ් නබී අංක හය පිතිකරුවා ලෙස පැමිණ සිය වගකීම් නිසියාකාරව ඉටු කරමින් ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 54ක දී ලකුණු 84*ක් වාර්තා කළේ 4 පහර තුනක් හා 6 පහර හතක් සමඟිනි.  

මැදපෙළ පිතිකරුවන් සිය වගකීම හොඳින්ම ඉටු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නියමිත පන්දුවාර විස්ස අවසානයේ ඇෆ්ගනිස්තානය රැස් කළ ලකුණු සංඛ්‍යාව කඩුලු 6ක් දැවී ලකුණු 164ක්.

නබී හට සහාය වූ අස්ගර් ඇෆ්ගන් පන්දු 37ක දී ලකුණු 40යි. ඇෆ්ගනිස්තාන පිතිකරුවන් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වන විට නබී හා ඇෆ්ගන් යන දෙදෙනා 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 79ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.  

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී සිය හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ දකුණතින් මද වේගපන්දු යවන මොහොමඩ් ශයිෆුඩීන් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගන්නා විට නායක ශකීබ් අල් හසන් කඩුලු 2ක් තමන් සතු කරගත්තේය.

19න් පහළ පළමු කොටසේ තරග වදින පාසල් මොනවා ද?

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටියේ මෞලි මංගල්‍යය බඳු වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ 2019/20 තරග…

ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය අතර අවසන් වරට පවත්වා තිබෙන තරග තුනම (මෙම තරගය හැර) පරාජය වී තිබෙන නිසා බංග්ලාදේශ කණ්ඩායමට මේ තරගය ජය ගැනීම ඉතාමත් වැදගත් වුවත්, ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් ද ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන්නන් හමුවේ අසාර්ථක විය. 

කෙසේ නමුත් සටන්කාමී පිතිකරණයක නිරත වූ මහමදුල්ලා හා සබීර් රහමාන් බංග්ලාදේශ ලකුණු සටහන යම් ගෞරවාන්විත ස්ථානයකට රැගෙන ගියේය. ඒ සඳහා පස්වැනි කඩුල්ල වෙනුවෙන් මහමදුල්ලා හා රහමාන් එක්ව ගොඩනැංවූ ලකුණු 58 සබඳතාවය විශාල රුකුලක් විය. 

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ මහමදුල්ලා 4 පහර පහක් එල්ල කරමින් ලකුණු 44ක් වාර්තා කරගෙන සිටිය දී දැවී ගියේ ගුලබ්දීන් නයිබ්ගේ පන්දුවක් හමුවේයි. 

ඔහුගේ දැවී යාමට පසුව බංග්ලාදේශ ලකුණු සටහනට තවත් ලකුණු පහක් එකතු වෙද්දී රහමාන්ගේ කඩුල්ල දවා ගැනීමට මුජිබර් රහුමාන් සමත් විය. අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම සිය නියමිත පන්දුවාර විස්සෙන් තවත් පන්දුවක් ඉතිරි කරමින් සියල්ලන්ම දැවී රැස්කළේ ලකුණු 139ක් පමණි. 

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු තරුණයා තරමක් තරබාරුය. ඔහුගේ වයස දහඅට හැවිරිදිය.

18 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන රහුමාන් ඔහුට නියමිත පන්දුවාර 4ම ක්‍රියාත්මක කරමින් ලකුණු 15කට කඩුලු 4ක් දවා ගත්තේය. එය ඔහු විසින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ප්‍රදර්ශනය කළ හොඳම පන්දු යැවීම ද විය. ඊට අමතරව රෂීඩ් සහ නයිබ් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

  • තරගයේ වීරයා – මොහොමඩ් නබී (ඇෆ්ගනිස්තානය)

ඇෆ්ගනිස්තානය  – 164/6 (20): මොහොමඩ් නබී 84*, අස්ගර් ඇෆ්ගන් 40, මොහොමඩ් ශයිෆුඩීන් 4/33, ශකීබ් අල් හසන් 2/18.

බංග්ලාදේශය – 139 (19.5): මහමදුල්ලා 44, සබීර් රහමාන් 24, මුජිබර් රහුමාන් 4/15, රෂීඩ් ඛාන් 2/23, ගුලබ්දීන් නයිබ් 2/27.

මෙම තරගාවලියේ තරග තුනක් අවසානයේ තමන් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින අතර, එක් තරගයක් ජය ගත් බංග්ලාදේශය එහි දෙවන තැන සිටියි. 

තරගාවලියේ සිව්වැනි තරගය මේ මස 18 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර Chattogram ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<