නජිබුල්ලාගේ ප්‍රහාරයෙන් ඇෆ්ගන් ජයග්‍රාහී වාර්තාව තවදුරටත් ඉදිරියට

77

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ (14) සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්ථානය අතර ඩකා හිදී පැවැත්වුණු අතර එම තරගයෙන් ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.  

බංග්ලාදේශය අවසන් මොහොතේ සිම්බාබ්වේ මවිත කරයි

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුන අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස…

නජිබුල්ලා සද්‍රාන් පන්දු 30ක දී නොදැවී ලකුණු 69*ක් ලබා ගනිමින් දියත් කළ දැවැන්ත ප්‍රහාරය නිසා ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 11ම ජය ගනිමින් ගෙවී ගිය මාස 17ක කාලය පුරාවට නොකඩවා තරග ජයගෙන තබාගෙන තිබෙන වාර්තාව තවදුරටත් රැකගැනීමට නජිබුල්ලාගේ එම පිතිකරණ දස්කම් දායක විය.

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක හැමිල්ටන් මසකඩ්සා පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 197ක දැවැන්ත ලකුණක් වෙත ඇදී ගියේය.

එහි දී ඉනිම ආරම්භ කළ රහමනුල්ලා ගර්බ්ස් සහ හස්රතුල්ලා සසායි ලකුණු 57ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ  අතර ඒ සඳහා ඔවුන් දෙදෙනා හට වැය වූයේ පන්දු 34ක් පමණි.

සිම්බාබ්වේ වේගපන්දු යවන්නන්ට එරෙහිව ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් තරගයේ පළමු පන්දුවේ සිටම සාර්ථක පහර දුන්නේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පන්දු 24ක දී ලකුණු 43ක් වාර්තා කරගත් රහමනුල්ලා දැවී ගිය අතර එම ඉනිමට 4 පහර 5ක් හා 6 පහර 2ක් අන්තර්ගත විය.

ඇෆ්ගන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා සකස් කර දුන් ජවසම්පන්න ආරම්භක සබඳතාවය සඳහා නිසි වටිනාකමක් එකතු කළ මැදපෙළ පිතිකරුවන් ද ලකුණු 13 සහ ලකුණු 14 බැගින් වාර්තා කළේය.

පන්දුවාර 13කුත් පන්දු 2ක් අවසානයේ ඇෆ්ගනිස්ථාන ලකුණු සටහන ලකුණු 90/4ක් ලෙස දිස්වූ අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41ක් තුල ලකුණු 107ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගත් නායක නජිබුල්ලා පන්දු 30ක් තුල ලකුණු 69*ක් වාර්තා කරගනිමින් තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. එම ඉනිම 4 පහර 5කින් හා 6 පහර 6කින් අලංකාරවත් විය.

අනෙක් අන්තයේ සිටිමින් නජිබුල්ලා හට අගනා සහායක් දුන් මොහොමඩ් නබී පන්දු 18ක දී ලකුණු 38*ක් වාර්තා කළේ දැවැන්ත 6 පහර 4ක් සමඟිනි.

Video – මාලිංගගේ කඩුලු ත්‍රිත්වයන් එක පෙළට – සිංහලෙන් ක්‍රිකට් 01

පසුගිය දා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන්…

පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් යම් මට්ටමකට හෝ පාලනය කිරීමට සමත් වූයේ සිම්බාබ්වේ දඟපන්දු යවන්නන් පමණක් වුවත් ෂෝන් විලියම්ස්ට අමතරව කඩුලු 2ක් දවා ගනිමින් දස්කම් දක්වන්නට ටෙන්ඩායි චටාර සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායමට මෙම තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීම නම් ලකුණු 198ක දැවැන්ත ඉලක්කයක් හඹා යා යුතු විය.

ඔවුන්ගේ ආරම්භක කඩුලු 4 පෙර තරගයේ දී මෙන් අඩු මට්ටමේ ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට නායක රෂීඩ් ඛාන් ඇතුළු ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. ඒ සඳහා සිම්බාබ්වේ පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පිතිකරණය ද හේතු විය.

කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්ඩායම ගෞරවාන්විත ස්ථානයකට රැගෙන ගිය කඩුලු රකින දකුණත් පිතිකරු රෙජිස් චකබාවා හා රයන් බර්ල් පිළිවෙළින් ලකුණු 42*ක් හා ලකුණු 25ක් ලබාගත්තේය.

190.90ක පමණ ඉහළ මට්ටමේ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන් චකබාවාගේ ලකුණු 42*කට 4 පහර 3ක් හා 6 පහර 2ක් ඇතුළත් විය. කෙසේ වුවත් මෙම තරගයේදීත් සිම්බාබ්වේ පිතිකරුවන්ගේ භූමිකාව පන්දු යවන්නන්ට කිරීමට සිදු වූ නිසා මෙම තරගය ලකුණු 28කින් පරාජය වීමට ඔවුන්ට සිදුවිය.

රෂීඩ් හා ෆරීඩ් අහමඩ් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් කඩුලු 2ක බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

තරගයේ වීරයා – නජිබුල්ලා සද්‍රාන් (ඇෆ්ගනිස්ථානය)

ඇෆ්ගනිස්ථානය  – 197/5 (20): නජිබුල්ලා සද්‍රාන් 69*, රහමනුල්ලා ගර්බ්ස් 43, මොහොමඩ් නබී 38*, සීන් විලියම්ස් 2/16, ටෙන්ඩායි චටාර 2/53.

සිම්බාබ්වේ – 169/7 (20): රෙජිස් චකබාවා 42, රයන් බර්ල් 25, රෂීඩ් ඛාන් 2/29, ෆරීඩ් අහමඩ් 2/35.

මෙම තරගාවලියේ තෙවැනි තරගය අද (15) බංග්ලාදේශ කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඩකා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<