තරංග – තිසර ගැටුම අවසානයේ BPL කිරුළ කොමිලාවරුන්ට!

1033

සයවැනි වරටත් පැවති බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය ඊයේ (08) නිමාවට පත්වූයේ ශ්‍රී ලාංකීය තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නියෝජනය කරන කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම මෙවර ශූරයින් ලෙස අභිෂේක ගන්වමිනි. ඒ අනුව වමත් ආරම්භක පිතිකරු උපුල් තරංග ක්‍රීඩා කළ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය. ඔවුන් වික්ටෝරියන්ස් කණ්ඩායම හමුවේ පරාජය ලැබුවේ ලකුණු 17කිනි.

කෙටිම තරග රටාවේ ලොකුම තරග වාර්තාව රෝහිත් ශර්මාට!

ඉන්දු – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියට උණුසුම් මුහුණුවරක් ලබා දෙමින් අද (08) පැවති දෙවැනි විස්සයි…

අවසන් මහා තරගයේ දී BPL කිරුළ වෙනුවෙන් සටන් වැදුණු කණ්ඩායම් දෙකටම ජාත්‍යන්තරය ජය ගත් සුපිරි ක්‍රීඩකයින් රැසක්ම ඇතුළත් වූ අතර එවින් ලෙවිස්, ශහීඩ් අෆ්රිඩි, තිසර පෙරේරා සහ වහාබ් රියාස් වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කරන විදේශීය ක්‍රීඩකයින් ලෙස ඇතුළත්ව තිබුණි. අනෙක් පසින් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනා ලෙස උපුල් තරංග, සුනිල් නරෙයින්, කිරන් පොලාර්ඩ් සහ අන්ඩ්‍රේ රසල් ක්‍රීඩා කළහ. තරගය ආරම්භ කරමින් නායකයින් දෙපළ වන ඉම්රුල් කයිස් සහ ශකීබ් අල් හසන් කාසියේ වාසිය උරගා බැලූ අතර ඉන් ජය ගත් ඩයිනමයිට්ස් නායක ශකීබ් අල් හසන් තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි.

ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් රුබෙල් හුසේන් දෙවැනි පන්දුවාරයේ දී කොදෙව් ක්‍රීඩක එවින් ලෙවිස්ව ලකුණු 6කට පිටියෙන් ඉවත් කළේ ඩකා කණ්ඩායමට කුසලානය පිළිබඳ බලාපොරොත්තු ජනිත කරමිනි. කෙසේ නමුත් එතැන් සිට ගෙවී ගිය පන්දුවාර 18ම තමන්ගේ නමින් ලියා ගත් කොමිලා වික්ටෝරියන්ස් පිළ ඩකා පන්දු යවන්නන්ට කලකට අමතක නොවන සංග්‍රහයක් ලබා දෙමින් ලකුණු 199ක් ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව මත සටහන් කළේය. මෙම දැවැන්ත ඉනිම ගොඩ නැගීමේ වගකීම සම්පූර්ණයෙන්ම තම කරමත පටවා ගත් බංග්ලාදේශ වමත් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් සිය කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දායකත්වය ලකුණු 141කි!

විස්සයි විස්ස තරගයක සාමාන්‍යයෙන් කණ්ඩායමක් රැස් කරන මුළු ලකුණු ප්‍රමාණය ලෙස සැලකිය හැකි මෙම දැවැන්ත ඉනිම වෙනුවෙන් ඔහු වැය කළේ පන්දු 61ක් පමණි. ඒ අතරට ඔහු වැර යොදා එල්ල කළ හතරේ පහර 10ක් සහ හයේ පහර 11ක් ඇතුළත් කළේය. ප්‍රහාරක වේගය ලෙස සටහන් වූයේ 231.15කි. තමීම් කොමිලා ඉනිමේ පළමු පන්දුවේ සිට අවසන් පන්දුව දක්වාම නොදැවී පිටියේ රැඳී සිටින්නට ද සමත් විය. ඔහුගේ මෙම විශ්මිත ඉනිම නිසා තිසර පෙරේරා ඇතුළු අනෙකුත් ප්‍රහාරාත්මක පිතිකරුවන්ට පිත්ත අතට ගැනීමටවත් ඊයේ දිනයේ අවශ්‍ය වූයේ නැත.

කොමිලාවරුන්ගෙන් එල්ල වූ අභියෝගය ඉතාමත් බරපතළ වුවද මෙය කුසලානයක් වෙනුවෙන් සිදු කෙරෙන සටනක් වූ නිසා ඩකා ක්‍රීඩකයින් ද ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට සූදානම් වූයේ නැත. ඩකා ඉනිම ඇරඹූ සුනිල් නරෙයින් කිසිම පන්දුවකට මුහුණ දෙන්නට පෙරම දුවද්දී දැවී යාමකට හසු වුවද උපුල් තරංග සහ නවක ක්‍රීඩක රොනී තලුක්දර් වික්ටෝරියන්ස් පිළට නොදෙවෙනි ප්‍රහාරයක් එල්ල කරමින් පන්දුවාර 9ක දී ශතක සබඳතාවයක් ගොඩ නැගූහ. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ක්‍රියාත්මක වූ තිසර පෙරේරා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි උපුල් තරංගව පිටියෙන් ඉවත් කළේ ඔහුව ලෝන්ග්-ඕන් කලාපය ඔස්සේ පහරකට පොළඹවාලමිනි.

ඒ වන විටත් තරංග පන්දු 27කට පමණක් මුහුණ දෙමින් ලකුණු 48ක් ලබාගෙන තමීම්ගේ අඩිපාර ඔස්සේ ඉව අල්ලමින් සිටියේය. ඔහු තිසර පෙරේරාට එරෙහිව ද එම පන්දුවාරය ආරම්භයේ දී හතරේ පහරක් එල්ල කළ අතර දැවී යන විට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එල්ල කොට තිබුණි. තරංගට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ රොනී තලුක්දර් අද අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ පන්දු 38ක් පමණක් ප්‍රයෝජනයට ගනිමිනි. ක්‍රිකට් පොතේ ඇති පහරවල් වලින් අනූන වූ ඔහුගේ ලකුණු 66ට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. කෙසේ වෙතත් 13 වැනි පන්දුවාරයේ දී අනවශ්‍ය ලකුණක් කරා දුවයාමට දැරූ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස තලුක්දර් දැවී යාමත් සමඟ ඩකා ඉනිමට කණකොකා හැඬීය.

එතැන් සිට දිගින් දිගටම කඩුලු එකිනෙක බිඳ වැටෙනු දැකගන්නට ලැබුණු අතර ශකීබ් අල් හසන්, කිරන් පොලාර්ඩ් සහ අන්ඩ්‍රේ රසල් වැනි සීමිත පන්දුවාර තරගවල නම රැන්දූ පිතිකරුවන් කිසිවෙකුත් කොමිලා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වූයේ නැත. අද දිනයේ ඉතාමත් දක්ෂ අයුරින් පන්දු යැවූ තිසර පෙරේරා හමුවේ පොලාර්ඩ් පවා නිරුත්තර වූ අතර ඔහු අන්ඩ්‍රේ රසල්වද පිටියෙන් ඉවත් කරමින් තම පන්දුවාර 4 නිමා කළේ ලකුණු 35ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. ඔහු අවසන් පන්දු දෙකේ දී හයේ පහර දෙකක් ලබා නොදෙන්නට ඔහුගේ පෞද්ගලික පන්දු යැවීම මීටත් වඩා සෑහෙන හොඳ මට්ටමක පැවතුණි. මීට අමතරව වහාබ් රියාස් කඩුලු 3ක් ද, මොහොමඩ් සයිෆුද්දින් කඩුලු 2ක් ද දවා ගත්හ.

තරගයේ අවසන් පන්දුවාරයේ අඩක් ගතවන විටම ගණිතමය අයුරින් කොමිලා වික්ටෝරියන්ස් ජය තහවුරු වූ අතර ක්‍රීඩාංගණයට පැමිණ සිටි 25,000කට අධික ප්‍රේක්ෂක පිරිස ඔවුන් වෙනුවෙන් ඔල්වරසන් නැගූහ. අවසන් මහා තරගයේ වීරයා පිළිබඳව කිසිවෙකුගේ සිතේ දෙගිඩියාවක් නොතිබූ අතර එය සුවිශිෂ්ට ඉනිමට ක්‍රීඩා කළ තමීම් ඉක්බාල්ට හිමි විය. තරගාවලියේ වීරයා ලෙස අනුශූරයින් බවට පත්වූ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් නම් කෙරුණි. සියල්ල අවසානයේ ශූරතා කුසලානය තිසර පෙරේරා ඇතුළු කොමිලා වික්ටෝරියන්ස් ක්‍රීඩකයින්ට හිමි විය.

කොමිලා වික්ටෝරියන්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 199 (පන්දුවාර 20)

තමීම් ඉක්බාල් 141*, එනමුල් හක් 24, ඉම්රුල් කයිස් 17*, එවින් ලෙවිස් 6, ශකීබ් අල් හසන් 1/45, රුබෙල් හුසේන් 1/48.

ඩකා ඩයිනමයිට්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 182 (පන්දුවාර 20)

රොනී තලුක්දර් 66, උපුල් තරංග 48, නුරුල් හසන් 18, මොහොමදුල් හසන් 15, කිරන් පොලාර්ඩ් 13, වහාබ් රියාස් 3/28, තිසර පෙරේරා 2/35, මොහොමඩ් සයිෆුද්දින් 2/38.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<