අශාන්ගේ තුන් ඉරියව් හපන්කම් ඉදිරියේ බංගලියෝ පසුබසී

93

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (09) සමත් විය.  

යළි ක්‍රියාත්මක වූ පැතුම්ගේ පිත්තෙන් දැවැන්ත ප්‍රහාරයක්

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A …….

තරගයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශයට පන්දුවාර 33.3ක දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 116ක් පමණක් වන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 25.4ක දී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ සයිෆ් හසන් සහ නියාම් ශෙයික් දෙදෙනායි. නමුත් බංග්ලාදේශ ලකුණු පුවරුවට ලකුණු 8ක් එක්වන විට ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් නියාම් ශෙයික් දැවී ගියේ ශිරාන් ප්‍රනාන්දුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

අනතුරුව පිටියට පිවිසියේ නජ්මුල් හොසේන් ය. ඉන් පසුව සයිෆ්-නජ්මුල් යුගලය එක්ව බංග්ලාදේශ ලකුණු පුවරුව 52ක් දක්වා රැගෙන ගියේ ඉනිම තුළ වාර්තා වූ වැඩිම ලකුණු සබඳතාවය ඔවුන් දෙදෙනා අතර පවත්වමිනි. 

>>Photos: Bangladesh A tour of Sri Lanka 2019 | 1st Unofficial ODI<<

දෙවන කඩුල්ල සඳහා පැවැත්වූ එම ලකුණු 44ක සබඳතාවය සඳහා වැඩි දායකත්වයක් ලබා දුන් නජ්මුල් පන්දු 23ක දී වේගවත් ලකුණු 24ක් ලබා ඉනිමේ දෙවන කඩුල්ල වශයෙන් දැවී ගියේ චරිත් අසලංකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

වැඩි වේලාවක් යාමට මත්තෙන් නවක පිතිකරු එනුමල් හක් ද (5) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට චාමික කරුණාරත්න සමත් වූයේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

ඒ සමඟින් සයිෆ් සමඟ පිටියේ එක්වූ පිතිකරුවා බවට පත්වූයේ අත්දැකීම් සහිත ක්‍රීඩක මොහමඩ් මිතුන් ය. නමුත් එම සබඳතාවය ද වැඩි වේලාවක් පැවැත්වීමට නොහැකි වූයේ ඒ දක්වා එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් කඩුල්ලේ රැඳී සිටි සයිෆ්ගේ කඩුල්ල දැවී යාමත් සමඟිනි. 

අමිල අපෝන්සුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය. ලකුණු 32ක් ලබා සිටි ඔහු ඉනිමේ සිව්වැනි කඩුල්ල වශයෙන් දැවී ගියේ බංග්ලාදේශ ලකුණු පුවරුව 78/4ක් ලෙසින් සටහන් කරමිනි.  බංග්ලාදේශ ඉනිමේ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූයේ ද එයයි.  

සිංහයින්ට එරෙහිව කැන්ගරුවන්ගෙන් ප්‍රබල සංචිතයක්

ශ්‍රී ලංකාව හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර …….

බංග්ලාදේශ ඉනිමේ දක්නට ලැබුණු සුවිශේෂීම සිදුවීම බවට පත්වූයේ ඔවුන්ගේ පළමු කඩුලු 4ම කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යාමයි. 

පසුව පිටියට පිවිසි අෆිෆ් හොසේන් අනෙක් අන්තයේ සිටි මිතුන් ද සමඟ බංග්ලාදේශ ඉනිම ලකුණු 102 දක්වා රැගෙන ගියේය. එහෙත් ලකුණු 11ක් ලබා සිටි අෆිෆ් ද, ප්‍රියන්ජන් හමුවේ දැවී ගියේ බංග්ලාදේශය අසීරු අඩියකට තල්ලු කර දමමිනි. 

ඉන් අනතුරුව වැටී තිබූ බංග්ලාදේශ ඉනිම ගොඩගැනීමට කිසිදු පිතිකරුවෙකුට හැකියාවක් නොලැබුණු අතර ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුව බවට පත් වූ මිතුන් ද ලකුණු 21කට දැවී ගියේය. බංග්ලාදේශ මුළු ලකුණු සංඛ්‍යාව 105ක් වන විට හය වන වශයෙන් මිතුන් දැවී ගියේ නැවතත් ක්‍රියාත්මක වූ නායක අශාන්ගේ ගොදුරක් බවට පත්වෙමිනි. 

අනතුරුව බංග්ලාදේශ ඉනිමේ කඩාවැටීම සිදුවී ඉනිම අවසන් වූයේ ඔවුන්ගේ අවසන් කඩුලු 4ම ලකුණු 11ක් තුළ දැවී යාමත් සමඟිනි. එහි දී කිසිදු බංග්ලාදේශ පහළ මැදපෙළ හෝ අගපෙළ පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්වීමට හැකියාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ අශාන් ප්‍රියන්ජන් පන්දු වාර 4.3ක දී ලකුණු 10ක් පමණක් ලබා දී බංග්ලාදේශ කඩුලු 4ක්ම දවා ගැනීමට සමත් වූයේ තම නායකත්වයේ වගකීම පමණටත් වඩා කණ්ඩායම වෙනුවෙන් ඉටු කරමිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් හා චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් දවා ගනු ලැබීය.

ඉන්පසුව ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ සඳුන් වීරක්කොඩි සහ පැතුම් නිස්සංක දෙදෙනායි.

නමුත් අසාර්ථක ආරම්භයක් ලබා ගත් පැතුම් ආ විගසන් එක් ලකුණකට දැවී ගියේ යළිත් දෙපිලටම තරගය විවෘත කරමිනි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව යන්තම් 5ක් ලෙස සටහන් වන විට ඔහු දැවී ගියේ අබු ජයෙඩ්ගේ පන්දුවක් හමුවේය. 

ටෙස්ට් තරගාවලියේ ලද සාර්ථකත්වයෙන් අනතුරුව එක්දින කණ්ඩායමේ ද අංක 3ට උසස්වීමක් ලබා ගත් කමිඳු මෙන්ඩිස් පිටියට පිවිසියේ ඉන් අනතුරුවය. එහෙත් වැඩි වේලාවක් යාමට මත්තෙන් ආරම්භක පිතිකරු සඳුන් ද ලකුණු 16කට දැවී ගියේ බංග්ලාදේශ බලාපොරොත්තු තවත් ඉහළ නංවමිනි. ශ්‍රී ලංකා ඉනිමෙ 21/2ක් ලෙස සනිටුහන් කරමින් ඔහු දැවී ගියේ අබු හයිඩර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. 

සිංහයින්ගේ සුපිරි ජයග්‍රහණයෙන් බුකිය කැලඹේ!

පාකිස්තානය සමඟින් පැවති දෙවන විස්සයි විස්ස තරගය ද ……

අංක 4 පිතිකරු වශයෙන් පිටියට පිවිසියේ ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියන්ජන් ය. අනතුරුව කමිඳු-අශාන් එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 51ක් දක්වා රැගෙන ගිය අතර ලකුණු 23ක් ලබා සිටි කමිඳු මෙන්ඩිස් හසන්ගේ ගොදුරක් බවට පත්වූයේ ඉන් අනතුරුවය. 

ඉන්පසුව අශාන් මඟ පිටියට එක් වූයේ ප්‍රියමාල් පෙරේරා ය. එතැන් පටන් බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඔවුන් දෙදෙනා තරගය ජයග්‍රහණය දක්වාම රැගෙන ගියේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම පන්දුවාර 25.4ක දී 120/3ක් වශයෙන් ලකුණු පුවරුව සටහන් කරමිනි.

අති විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අශාන් ප්‍රියන්ජන් නොදැවී අර්ධ ශතකයක් රැස්කළේ හතරේ පහරවල් තුනක් සහ හයේ පහරවල් දෙකක් තම ඉනිමට අන්තර්ගත කරමිනි. 

ඔහුට අනගි සහයක් ලබා දුන් ප්‍රියමාල් පෙරේරා තරගය අවසන් වන තුරුම පිටියේ රැඳී සිටියේ අශාන්ගේ ඉනිමට මහත් අස්වැසිල්ලක් වෙමිනි. තරගය අවසන් වන විට නොදැවී පිටියේ රැඳී සිටි අශාන් ප්‍රියන්ජන් පන්දු 62කින් ලකුණු 50ක් සහ ප්‍රියමාල් පෙරේරා පන්දු 36කින් ලකුණු 24ක් ලබා සිටියේ ය.

සමස්ත තරගය තුළ දී ම තම නායකත්වයේ බර කරට ගනිමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද අගනා දස්කම් දැක්වූ නායක අශාන් ප්‍රියන්ජන් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

ඒ සමඟින්ම තරග 3කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත් විය. 

දෙරට අතර පැවැත්වෙන දෙවන නිල නොවන එක්දින තරගය එළඹෙන සෙනසුරාදා (10) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<