ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට තවත් පරාජයක්

84

බංගබන්ධු රන් කුසලාන 2020 පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර අද (17) දින පැවති පළමු වටයේ තරගයෙන් ගෝල 0 – 2 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට පලස්තීන ක්‍රීඩකයින් සමත් විය. 

සුජාන් සහ ආකීබ් සංචිතයෙන් ඉවතට!

බංගබන්ධු ‍රන් කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය අද (12) දින නම් කෙරුනා…

තරගය ආරම්භයේ පටන් පලස්තීන ක්‍රීඩකයින් පන්දුව ඔවුන් සතුව තබා ගනිමින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර අනෙක් පසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතා ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ඉක්මන් අවස්ථාවන් හරහා ගෝල වාර්තා කර ගැනීමට උත්සාහ දැරීය. කෙසේ නමුත් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ දෙපිළේ ම ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් වූයේ නැත. 

17 වන මිනිත්තුවේ දී Mahmoud Abuwarda ලබා ගත් නිදහස් පහර අවස්ථාවක් හරහා Reebal Dahamshi හට පන්දුව ගෝල රාමුව ඉදිරියේ දී හිමි වුවත් එහිදී ඔහු පන්දුවට හිසින් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී යාමත් සමඟ එම අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී යන්නට විය. 

තරගයේ ඉදිරියට යත්ම තරගයේ පාලනය සම්පූර්ණයෙන් ම තමන් සතුකර ගන්නට පලස්තීන ක්‍රීඩකයින් සමත් වුවත්, එහිදී ඔවුන් ගෝලයක් වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට සමත් වූයේ නැත. 

පළමු අර්ධය අවසන් වන්නට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් හිමි වුවත් එය ලබා ගත් වසීම් රාසික් එහිදී එල්ල කළ පහර ප්‍රතිවාදී ක්‍රීඩක ප්‍රාකාරයේ වැදී, ගෝල රාමුවේ ඉහත දාරයේ ද වැදී ඉවතට ඇදී ගියේය. 

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 0 පලස්තීනය 

තරගයේ දෙවන අර්ධය පුරාවට කණ්ඩායම් දෙකට ම අවස්ථාවන් කිහිපයක දීම ගෝලයක් වාර්තා කර ගන්නට අවස්ථාවන් කිහිපයක් ම හිමි වුවත් එහිදී ඔවුන් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

මෙහිදී ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක රුවන් අරුණසිරි ඉතා දක්ෂ ගෝල රැකීමක් දියත් කරන්නට වූ අතර ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින් දිගින් දිගට ම අනුගමනය කළ දැඩි ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයත් සමඟින් ඔවුන් තරගය ජය-පරාජයෙන් තොරව අවසන් කර ගන්නට උත්සාහ දරන සේයාවක් දිස්විය. 

කෙසේ නමුත් තරගයේ නියමිත කාලය අවසානයේ ලබා දුන් අමතර කාලයේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනිමින් ජයග්‍රහණය අභියසට පැමිණෙන්නට පලස්තීන ක්‍රීඩකයින් සමත් විය. එහිදී Sameh Maraaba ගෝල රාමුව ඉදිරිපිටට යොමු කළ පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකළ Abuwarda විසින් එම ගෝලය වාර්තා කරගනු ලැබීය. 

Liverpool නූලෙන් ජයගද්දී Chelsea හා Man Utdගෙන් ගෝල රැසක්

කෙටි විරාමයකට පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවතත් ආරම්භ වුණේ උද්වේගකර…

අනතුරුව ගෝලයක් වාර්තා කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගත් පලස්තීන ක්‍රීඩකයින් ඉක්මන් අවස්ථාවක් හරහා ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගේ දෙවන ගෝලය ද වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය. එහිදී එම ගෝලය වාර්තා කර ගනු ලැබුවේ Khaled Salem විසිනි. 

ඒ අනුව ඉතා තියුණු තරගයකින් අනතුරුව මෙම තරගයෙන් ගෝල 0 – 2 ක තීරණාත්මක ජයග්‍රහණයක් තහවුරු කර ගන්නට පලස්තීන කණ්ඩායම සමත් විය. 

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 0 – 2 පලස්තීනය 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින්:  

පලස්තීනය – Mahmoud Abuwarda 90+3’, Khaled Salem 90+6’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<