ශ්‍රී ලංකා ගෝල රකින්නිය පරාජයේ සැර බාලකරයි

525

SAFF කාන්තා පාපන්දු තරගාවලියේ B කාණ්ඩයට අදාලව ඉන්දියාව සමඟින් පැවති තරගයේ දී, ශ්‍රී ලංකාවට අත්වන්නට ගිය දැවැන්ත පරාජය, ගෝල රකින ක්‍රීඩිකා අයෝමි විජේරත්නගේ දක්ෂතා නිසා යම් කිසි දුරකට වැළකී ගිය නමුත් නේපාලයේ බිරාත්නගර්හි සාහිඩ් රංගශාලා ක්‍රීඩාංගණයේ දී අද (17) පැවති මෙම තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළේ ගෝල 5-0ක් ලෙසයි.

චලනිගේ ගෝල ද්විත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

මාලදිවයින ගෝල 2-0ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 5 වන SAFF කාන්තා ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් විය…

මෙම කාණ්ඩයේ මාලදිවයින තරග දෙකම පරාජය වීම නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙම තරගයට පෙර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටි අතර කාණ්ඩයේ මුල් ස්ථානය ලබා ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය වැදගත් විය. තරගය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී බංග්ලාදේශය මුණගැසීමට නියමිත අතර ශ්‍රී ලංකාව සත්කාරක නේපාලය සමඟ ද තරග වැදීමට නියමිතයි.

තරගය ආරම්භ කිරීමේ වගකීම ඉන්දියාවට ලැබුණු අතර තරගයේ 4 වැනි මිනිත්තුවේ දී ඉන්දීය ක්‍රීඩිකා සංජු විසින් ගෝලයක් වාර්තා කිරීමට ගත් උත්සාහය හරස් කනුවේ වැදීමෙන් වැළකී ගිය ද, පන්දුව ලබා ගත් ග්‍රේස් ඩංග්මෙයි (Grace Dangmei) විසින් සාර්ථකව පන්දුව ගෝලය තුලට යොමු කරමින් පළමු ගෝලය ලබා ගැනීමට සමත් විය. (ශ්‍රී ලංකාව 0-1 ඉන්දියාව)

තවත් මිනිත්තු කීපයක් ගතවීමත් සමඟම වම් අර්ධයෙන් පන්දුව ඉදිරියට රැගෙන ආ සංජු විසින් පහසු පා පහරකට අවස්ථාව උදාකර දුන් අතර උපරිම ප්‍රයෝජනය ලබා ගත් සන්ද්‍යා රංගනාතන් (Sandhiya Ranganathan) විසින් දෙවන ගෝලය ලබා ගැනීමට සමත් විය. ඒ තරගයේ 7 වැනි මිනිත්තුවේ දී ය. (ශ්‍රී ලංකාව 0-2 ඉන්දියාව)

SAFF කාන්තා ශූරතාවලියට එක්වුණු ශ්‍රී ලංකා සංචිතය

නේපාලයේ පැවැත්වෙන 2019 SAFF කාන්තා පාපන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කර තිබුණි…

ශ්‍රී ලංකාව තමන්ට ලැබුණු අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් ක්‍රීඩා කළ ද ප්‍රබල ඉන්දීය ආරක්ෂකයින් මගහැර යාමට අපොහොසත් විය. මේ අතර අයෝමි විජේරත්න විසින් ගෝල ලබා ගැනීමේ අවස්ථාවන් කීපයක්ම සාර්ථකව වළක්වන්නට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් තෙවන ගෝලය වාර්තා කිරීම ඉන්දුමතී කතිරේසන් (Indhumathi Katheresan) විසින් 36 වැනි මිනිත්තුවේ දී සිදු කළ අතර ශ්‍රී ලංකා නායිකා එරන්දි ලියනගේ විසින් පන්දුව වැළැක්වීමට අපොහොසත් වීම නිසා එම ගෝලය වාර්තා විය. (ශ්‍රී ලංකාව 0-3 ඉන්දියාව)

ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ මීළඟ අවස්ථාව ලබා ගැනීමට සංගීතා බාස්ෆෝර් (Sangita Basfore) විසින් ලබා ගත් අතර එය රුෂානි ගුණවර්ධන විසින් පන්දුව ස්පර්ශ කිරීම නිසා ලැබුණු දඬුවම් පහරක් මගින් වාර්තා වීම විශේෂත්වයකි. තරගයේ 44 වැනි මිනිත්තුවේ දී එම ගෝලය වාර්තා විය. (ශ්‍රී ලංකාව 0-4 ඉන්දියාව)

පළමු අර්ධය අවසන් වන විට ගෝල 4ක් වාර්තා කළ ඉන්දියාව ප්‍රබල ස්ථානයක පසු වූ අතර දෙවන අර්ධය ද එසේ ප්‍රබලව ක්‍රීඩා කරනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාව විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 04 ඉන්දියාව

දෙවන අර්ධය ආරම්භ කරමින් ඉන්දියාවට තවත් ගෝලයක් හිමි වූයේ තරගයේ 47 වැනි මිනිත්තුවේ දී ය. ඒ රතන්බාලා දේවි (Ratanbala Devi) විසින් දක්ෂ ලෙස වම් පාදයෙන් එල්ල කළ පහරක් ගෝලය පසුකර ඇදී යාම නිසාවෙනි. ගෝල රකින ක්‍රීඩිකා අයෝමි විජේරත්නට ගෝලය තුලට ඇදී යන පන්දුව දෙස බලාසිටීම හැර වෙන කල හැක්කක් නොවීය. (ශ්‍රී ලංකාව 0-5 ඉන්දියාව)

Video – “මුල්ම බලාපොරොත්තුව අවසන් පූර්ව වටය” – තිලක්

ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සුනිල්අල්පොන්සු පස්වන සාෆ් කාන්තා ශූරතාවයට සූදානම සහ බලාපොරොත්තු…

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ගෝල වර්ෂාව හැකිතාක් සීමා කිරීම හැර වෙනත් කළ හැකි දෙයක් නොවීය. අවසන් පූර්ව වටයට පිවිසීමට පෙර දරුණු පරාජයක් ලැබීම කණ්ඩායම මානසිකව දුර්වල කිරීමට හේතු විය හැකි නිසා කණ්ඩායම් නායිකා එරන්දි ලියනගේ පමණක් ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් අන් සියලු දෙනාම ගෝලය ආරක්ෂා කිරීමට පසුපෙළ ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකාව ගෝල ලබා ගැනීම වෙනුවට හැකිතාක් පන්දුව ඉවතට යොමු කිරීමට උත්සාහ කළේය. ඉන්දීය පසුපෙළ සියලු ආක්‍රමණ සාර්ථකව ව්‍යර්ථ කළ අතර ගෝලයක් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා නොදෙමින් ප්‍රබල ලෙස ක්‍රීඩා කිරීමට සමත් විය.

ඉන්දිය කණ්ඩායම තවත් ලකුණු ලබා ගැනීමට උත්සාහ කළ අතර එම අවස්ථාවන් සාර්ථකව පරාජය කිරීමට ගෝල රකින ක්‍රීඩිකා අයෝමි විජේරත්න සමත් වූ අතර පළමු අර්ධයේ දී සිදු වූ සියලු වැරදි නිවැරදි කරගනිමින් දරුණු පරාජය වළක්වා ගැනීමට ඇය සමත් වීම කැපී පෙනිනි.

ඉදිරිපෙළ හා පසුපෙළ ක්‍රීඩිකාවන් විසින් සිදු කළ අඩුපාඩුවලින් උපරිම ප්‍රයෝජනය ලබා ගත් ඉන්දියාවට පන්දුව ගෝලය පසුකර යැවීමට තිබූ අවස්ථාවන් සාර්ථකව වැළැක්වූ අයෝමි විජේරත්න නිසා දෙවන අර්ධයේ දී ‍එක් ගෝලයකින් සෑහීමකට පත්වීමට සිදු විය.

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 00 – 05 ඉන්දියාව

ගෝල ලබාගත් ක්‍රීඩිකාවන්

  • ග්‍රේස් ඩංග්මෙයි (Grace Dangmei) 4 වැනි මිනිත්තුවේ දී
  • සන්ද්‍යා ‍රංගනාතන් (Sandhiya Ranganathan) 7 වැනි මිනිත්තුවේ දී
  • ඉන්දුමතී කතිරේසන් (Indhumathi Katheresan) 36 වැනි මිනිත්තුවේ දී
  • සංගීතා බාස්ෆෝර් (Sangita Basfore) 44 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් මගින්
  • ‍රතන්බාලා දේවි (Rathanbala Devi) 47 වැනි මිනිත්තුවේ දී

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<