අලුත්ම ක්‍රිකට් ආයෝජනය – අවිශ්ක

2821

2019 ක්‍රිකට් ලෝක කුසලාන උණුසුම මේ වන විට මුළු ලොවම වසඟයට ගැනීමට සමත්ව අවසන්‍. නොසිතූ පරාජයන් මෙන්ම නොසිතූ ජයග්‍රහණයන් ද මේ වන විට ලෝක කුසලානයේ තරගකාරීත්වය වඩාත් ප්‍රබල කර ඇත.

ඊයේ (21) පැවති එංගලන්ත ශ්‍රී ලංකා තරගයේ දී මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස සැලකෙන එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ තමන් අවතක්සේරු කළ නොහැකි බව ඔප්පු කරමිනි.

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

මෙතෙක් දවසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලකුණු සොයමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අද (21) තරගයේ දී ජේත්තුකාර…

එංගලන්ත තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කීපයක් දක්නට ලැබුණු අතර එහි සාර්ථකම වෙනස්කම ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැක්විය හැක. තවමත් 21 හැවිරිදි අවිශ්ක මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 7කි. මෙම තරගය ඔහුගේ පළමු ලෝක කුසලාන තරගයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය පසු අංක 3 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කරන අවිශ්ක පන්දු 39ක් තුල වේගවත් ලකුණු 49ක් වාර්තා කරන්නේ එංගලන්ත පන්දු ‍යවන්නන්ට පිටිය සිසාරා පහර එල්ල කරමිනි.

තරගයේ ලකුණු 3ක් ලබා සිටිය දී දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා දැවී ගිය අතර ආරම්භක පිතිකරුවෙක් ලෙස මීට පෙර ක්‍රීඩා කළ අවිශ්ක තම පීඩනය මනාව පාලනය කරගනිමින් ඉදිරිපෙළ වගකීම ඉෂ්ට කළේය. ඔහු හා කුසල් මෙන්ඩිස් ගොඩනැගූ සම්බන්ධතාවය ශ්‍රී ලංකාව වැටී සිටි අගාධයෙන් ගොඩ ගැනීමට උපකාරී විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ජොෆ්රා ආචර් නව පන්දුව මනාව උපකාරී කරගනිමින් කඩතොලු සහිත තණතීරුවේ ඉතා හොඳින් තම වේගය හා පතිත කිරීම් පාලනය කරගනිමින් පන්දු ‍යවන ආකාරයක් දක්නට ලැබුණි. අවිශ්ක ප්‍රනාන්දු තම පළමු හතරේ පහර වාර්තා කිරීමට පන්දු 14ක් වැය කළේය. ඉවසීමෙන් ක්‍රීඩා කළ අවිශ්ක, ජොෆ්රා ආචර්ගේ පන්දුවක් cover ප්‍රදේශයෙන් හතරේ සීමාව වෙත යැවීමට සමත් විය.

ජොෆ්රා ආචර් යැවූ විශිෂ්ට පන්දු දෙකක් අවිශ්ක ප්‍රනාන්දුට යම් පීඩනයක් එල්ල කිරීමට සමත්වුවද මීළඟ පන්දුව fine leg වෙත යැවීමට අවිශ්කට හැකි විය. ආචර් යැවූ මීළඟ පන්දුවට මනාව පිත්තෙන් ප්‍රතිචාර දැක්වූ අවිශ්ක එම පන්දුව හතරේ සීමාව පසුකර යැවීමට සමත් විය. ඒ අනුව තරගයේ 6 වැනි පන්දුවාරයේ දි ලකුණු 14ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණි.

අවිශ්ක ප්‍රනාන්දු තම ස්වාභාවික ක්‍රීඩා රටාව මගින් වේගයෙන් ලකුණු රැස් කළ අතර පන්දුවට පහ රදීමේ දී එතරම් පාද චලනය නොකළ ඔහු පන්දුව මනාව හදුනා ගනිමින් පහර එල්ල කළේය. ඔහුගේ පහරවල් සියල්ලම පාහේ ඔහුගේ වේගවත් පිත්ත හැසිරවීම හා පන්දුව නිවැරැදිව හදුනා ගැනීම මත රඳා පැවතිනි.

අත්දැකීම්වලින් එංගලන්තයේ හුළං බැස්සූ සිංහයා

ශ්‍රී ලංකාව ඊයේ (22) සත්කාරක එංගලන්තය හමුවේ සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළ අතර තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්…

අවිශ්ක Cover කලාපයෙන් එල්ල කළ පහරවල් වැඩි ප්‍රමාණයක් good length පන්දුවලට එල්ල කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් ඔහු තරම් දක්ෂ ලෙස pull පහර එල්ල කිරීමට සමත් නැත. අවිශ්ක ප්‍රනාන්දු ජොෆ්රා ආචර්ට එල්ල කළ මනස්කාන්ත හයේ පහර පන්දුව ක්‍රීඩාංගණයෙන් ඉවතට රැගෙන යාම නිසා නව පන්දුවක් ලබා ගැනීමට විනිසුරුවන්ට සිදු විය.

අවිශ්ක ප්‍රනාන්දු බවුන්සර් පන්දුවක් third man කලාපයෙන් හතරේ සීමාව වෙත යැවීමට ගත් උත්සහය ව්‍යර්ථ වූ අතර එසේ නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ දායකත්වය ලබා ගැනීමට තිබුණි. අවිශ්ක ප්‍රනාන්දු දැවී යන විට පන්දු 39කට මුහුණ දී තිබූ අතර ඔහු පහර එල්ල කර තිබුණේ පන්දු 14කට පමණි. Cricviz වෙබ් අඩවිය පවසන ආකාරයට අවිශ්ක දැවි ගිය උඩපන්දුව ඔහු තම ඉනිමේ වාර්තා කළ එකම දුර්වල පහර වේ. අවිශ්කගේ දුර්වල පන්දු සාමාන්‍ය 7%ක් ලෙස දැක්වූ අතර එක්දින පිතිකරුවන්ගේ දුර්වල පන්දු සාමාන්‍යය 22%ක් වේ.

“ඔහු nets වල හොඳින් ක්‍රීඩා කළා. අපි ඔහුට අවස්ථාව දෙන්න බලාගෙන හිටියේ. ගොඩක් සතුටුයි ඔහු ඇවිල්ලා අපි බලාපොරොත්තු වුන ප්‍රතිඵලයම ලබා දුන්න එක ගැන” ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයෙන් අනතුරුව කියා සිටියා.

“ඔහු කිසිම බයක් නැතුව පහර දුන්නා. අපි හිතනවා ඔහු මේ ආරම්භය අනාගතයේ දී ලොකු දස්කම් දක්වා රැගෙන යාවි කියලා “

අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කර ඇති එක්දින තරග හතෙන් හයක්ම මෙම වසරේ ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි. 2016 වසරේ 18 හැවිරිදි පාසල් ක්‍රීඩකයෙකු ලෙස එක්දින වරම් දිනා ගන්නා අවිශ්ක, වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී තරග 3කට ක්‍රීඩා කරමින් ලකුණු 285ක් වාර්තා කිරීමට සමත් විය. එයට ශතක දෙකක් ද ඇතුළත්‍ විය. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ක්‍රීඩා කරන අවිශ්ක ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුලත් වූයේ නැත.

තම පළමු තරගයේ දී පන්දු දෙකකට පමණක් මුහුණ දෙමින් ලකුණු නොලබා දැවී යන අවිශ්ක පසුගිය දේශීය තරගාවලිය වන තුරුම තම ක්‍රීඩා සමාජයේ නිත්‍ය ක්‍රීඩකයෙක් නොවීය. කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 576ක් වාර්තා කිරීමට සමත්ව සිටින අවිශ්ක එයට ද්විත්ව ශතකයක් ද ඇතුළත් කරගෙන සිටී. එම දක්ෂතාවයන් ඔහුව මෙම වසරේ මුල අයර්ලන්තයේ පැවති A කණ්ඩායමේ සංචාරයට ඇතුළත් කිරීමට හේතු විය.

අයර්ලන්ත තරග සංචාරයේ දී තරග 5කට ක්‍රීඩා කළ අවිශ්ක ශතක තුනක් සමඟින් ලකුණු 523ක් ලබා ගැනීමට සමත් විය. ඉන්පසු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සංචිතයට ඇතුළත් වූ අවිශ්ක තරග 4ක දී ලබා ගත්තේ ලකුණු 71ක් පමණි.

ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් නොසිතූ පරාජය නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා…

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තය සංචාරයකට එක්වූ අතර එහි දී අවිශ්ක තම එක්දින දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 74ක් වාර්තා කිරීමට සමත් විය. එංගලන්ත තරගය සඳහා ලහිරු තිරිමාන්නගේ ස්ථානයට ඇතුළත් වීමට අවිශ්කට අවස්ථාව උදා විය.

තම සහෝදර ක්‍රීඩකයන් පාසල් කණ්ඩායම නියෝජනය කරන විට අන්තර්ජාතික ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ භාග්‍ය අවිශ්කට උදා විය. අවිශ්ක ප්‍රනාන්දු තමන් මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රබල සාධකයක් වීමට සූදානම් බව මේ වන විටත් සාක්ෂි සපයා අවසන්‍. අවිශ්ක ප්‍රනාන්දුට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථාවන් ලබා දීම ඔහුව ප්‍රබල ක්‍රීඩකයෙක් බවට පත්කරනු ඇත. එය මෙරට ක්‍රිකට් සඳහා වන සාර්ථකම ආයෝජනයක් වනු නොඅනුමානය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<