ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විත්ති කූඩුවට ගෙනා නේතන් බ්‍රැකන්

254

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔබ එතරම් පොරක් ලෙස සැලකෙන්නේ නැහැ.”මෙසේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකි.

සුදු පැහැති පන්දුවෙන්  කෙරෙන සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවේ 2000 වසරෙන් පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ ප්‍රගතියට ඔහු ද විශාල වගඋත්තර කරුවෙකි. 

ගාෆිල්ඩ් සෝබර්ස්, වෙස්ලි හෝල්ට ඉගැන්වූ කදිම පාඩම

අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යාවශ්‍යම කොට්ඨාශයක් ලෙස පා දඟපන්දු….

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව හා කියවෙන අනෙකුත් නම් අතර ඔහුගේ නම කියවෙන්නේ කලාතුරකිනි. නමුත් නව පන්දුව දෙපසටම දෝලනය කරමින් කඩුලු ලබා ගනිමින් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කළ සේවය අතිමහත්ය. එක්දින තරග රටාවේ ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය දිනා ගත් මේ ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව තරමක ආන්දෝලනාත්මක චරිතයක් බවට  පත්විය. 

වමත් වේගපන්දු යවන්නෙකු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කළ  නේතන් බ්‍රැක්න් නම් සුවිශේෂී ක්‍රීඩකයා පිළිබඳ මතකයයි අප මේ ඔබ වෙත ගෙන එන්නේ.

1977 වසරේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේදී උපත ලද නේතන් වේඩ්  බ්‍රැකන් 1998 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙනුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට එරෙහිව පළමුපෙළ තරග වරම් දිනා ගත්තේය.

සිය මුල්ම පළමුපෙළ තරග අසාර්ථක වුවද පසුව හොඳින් දස්කම් අතරට අවතීර්ණ වන්නට බ්‍රැකන්ට හැකියාව ලැබුණි. 

2001 වසරේ අළුබඳුන තරගාවලිය වෙනුවෙන් ස්ථානයක් දිනා ගැනීමත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කොන්ත්‍රාත්තුවක් දිනා ගැනීමත් තරුණ ක්‍රීඩකයාට හිමි බ්‍රැඩ්මන් සම්මානයත් දිනා ගැනීම බ්‍රැකන්ගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයකි.

2001 වසරේ ජනවාරි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියානු තරග වරම් දිනා ගන්නට බ්‍රැකන් සමත් විය.

නිරන්තරයෙන්ම ඇතිවූ ආබාධිත තත්වයන් නිසා සහ එවකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තිබූ ශක්තිමත් බව නිසාම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ථීර සාමාජිකයෙකු වන්නට බ්‍රැකන්ට අවස්ථාවක් ලැබුණේ නැත. 

නමුත් 2005 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුපිරි තරගාවලියේ දී ලෝක කණ්ඩායමට එරෙහිව නැවත වතාවක් කණ්ඩායමට එක්වීමෙන් පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ථීර සාමාජිකයෙකු ලෙසින් ස්ථාවර වන්නට බ්‍රැකන්ට හැකියාව ලැබුණි.

ශ්‍රී ලාංකිකයින් අවතැන් කළ නයිරෝබියේ ‘අෆ්‍රිඩි’ සුළි කුණාටුව

1996 ඔක්තෝබර් 4 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර හරහා චණ්ඩ මාරුතයක්….

2006 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ සුප්‍රකට පස්වන එක්දින තරගයේ දී ලකුණු 67කට කඩුලු පහක් දවා ගන්නට බ්‍රැකන් සමත් විය. කණ්ඩායම් දෙකම ලකුණු හාරසීයකට එහා රැස් කළ මෙම තරගයේ පන්දුවාරයකට දල ලකුණු වේගය හතකට අඩුවෙන් ලබා දුන් එකම පන්දු යවන්නා වූයේ බ්‍රැකන්ය.

2007 බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවති ලෝක කුසලාන තරගාවලිය තුළ කඩුලු 16ක් දවා ගැනීමට බ්‍රැකන් සමත් වූ අතර එවර ලෝක කුසලානය ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමට බ්‍රැකන්ගෙන් ලැබුණ සහාය අතිශයින්ම වැදගත් විය. දිගින් දිගටම එක්දින තරග පිටියේ පෑ දස්කම් නිසාම 2008 වසරේ නම් කරන ලද ලෝක එක්දින කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට බ්‍රැකන් සමත් විය.

2008 වසරේ ජූලි මාසයේ ඩැනියෙල් විටෝරි පසු කරමින් එක්දින ජාත්‍යන්තර තරග ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බ්‍රැකන් සමත් විය.

2009 වසරේ ඕස්ට්‍රේලියානු එක්දින ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නට ද අප කතා නායක ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා සමත්කම් දැක්වීය.

2009 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ශූරයින්ගේ කුසලානයට කලින් දණහිසේ ආබාධයකට ලක්වූ බ්‍රැකන් කණ්ඩායමෙන් ඉවත් කෙරුණ අතර නැවත වතාවක් ඔහුට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. 

තරුණ ක්‍රීඩකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය වූයේ බ්‍රැකන් 2011 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමයි.

එක්දින තරග 116ක දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ බ්‍රැකන් එහි දී කඩුලු 174ක් දවා ගැනීමට සමත් විය. කඩුල්ලක් දවා ගැනීම වෙනුවෙන් ඔහු තබා ගත් සාමාන්‍යය 24.36ක් වූ අතර ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සනිටුහන් වූයේ ලකුණු 47ට කඩුලු පහක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සිඩ්නි’හීදි වාර්තා කර ගත් දස්කමයි.

මුතු ඇටය හා බැංකු ලිපිකරුවා

ශ්‍රී ලංකාව අතීතයේ ප්‍රසිද්ධව සිටියේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් ය….

එක්දින තරග පිටියේ මෙන් කැපී පෙනෙන දස්කමක් ටෙස්ට් තරග රටාවේ දැක්වීමට බ්‍රැකන්ට හැකියාවක් ලැබුණේ නැත. ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවස්ථා පහක දී නියෝජනය කළ බ්‍රැකන් එහි දී දවා ගත් කඩුලු ගණන 12කි.

නෙතන් බ්‍රැකන් ඔහුගේ පාදයේ දකුණු දණහිස ආබාධයකට ලක්වන විට වසරකට ඩොලර් 400,000ක් පමණ වටිනාකමක් ඇති ගිවිසුමකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා බැඳී සිටියේය. නමුත් ඔහුගේ ආබාධය නිසි ලෙසින් හඳුනා ගැනීමට නොහැකි වීම සහ ප්‍රතිකාර නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් ඔහු තරමක කනස්සල්ලෙන් සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ බ්‍රැකන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු මගට බැසීමයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ඔහුගේ ආබාධය නිසි පරිදි කළමනාකරණය නොකළ බැවින් තමාට දැඩි ලෙස ආර්ථික අලාභ සිදු වූ බව ඔහුගේ මතය විය. එමෙන්ම ලොව පුරා යහමින් මුදල් ඉපයිය හැකි විස්සයි විස්ස ලීග් සඳහා ක්‍රීඩා කරමින් ඔහුට ලබා ගත හැකිව තිබූ මුදල ද ඔහුගේ ඉල්ලීම් අතර විය.

“මම ඔවුන්ව ප්‍රශ්න කළේ නැහැ. මම ඔවුන්ගෙන් ඒ දේවල් බලාපොරොත්තු වුනා. තමුන් රැකියාවක් කරද්දී යම් ආබාධයකට ලක්වුව හොත් අදාළ පුද්ගලයා රැක බලා ගැනීමට යම් ක්‍රමවේදයක් තිබිය යුතුයි.” බ්‍රැකන් පසු කලෙක ප්‍රකාශ කළේය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා තිබූ ආරවුල දෙපාර්ශයේම කැමැත්තෙන් පසුව සමථයකට පත් කර ගත් බව පසුව දැනගන්නට ලැබුණි.  

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව දේශපාලනය පිවිසි බ්‍රැකන් 2013 වසරේ 2013 ෆෙඩරල් ජන විමසුමට එක්වී ඩොබෙල් ආසනය වෙනුවෙන් 8.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය.

“මට කලින් පිළියෙළ කර ගත් සැලසුමක් නෑ. මගේ මූලික රාජකාරිය ජනතාව නියෝජනය කිරීමයි. අපි ජනතාවට පහසුකම් සහ වැඩි වැඩියෙන් රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කළ යුතුයි.” බ්‍රැකන් තම දේශපාලන ආගමනය ගැන පසුව අදහස් ප්‍රකාශ කළේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<