ශ්‍රී ලංකාව අත තිබූ ජය උදුරා ගත් ඕස්ට්‍රේලියානුවන් තරගාවලි ජය සමරයි

3064

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද (23) පැවති පස්වැනි එක්දින තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට එහි දී ලකුණු 23ක පරාජයක් උරුම විය. කෙසේ වෙතත් මෙම තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට වැඩි ඉඩක් පැවති අතර පිතිකරණයේ දී සිදුවූ අතපසුවීම් කිහිපයක් නිසා ඕස්ට්‍රේලියානුවන් තරගයේ ග්‍රහණය සියතට ගත්හ. ඒ සමඟින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජයග්‍රහණය තරග 4-1ක් ලෙස ඕස්ට්‍රේලියානුවන්ට හිමි විය.

දඹුල්ල අසරණ කරමින් කපුගෙදරගෙන් පන්දු 50ක සුපිරි ශතකයක්!

නුදුරේ දී ම ඇරඹීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් වර්තමානයේ දක්ෂතා අතර සිටින සුදුසුම ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා…

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක පාරම් උප්පල් තරගය ජය ගැනීමට ඇති පහසුම ආකාරය ලෙසින් මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම සංචාරය පුරාවට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු හඹා යාමේ දී පීඩනයට හසු වී අසාර්ථක වීම නිසා ඔවුන්ගේ මෙම පියවර කිසිසේත්ම පුදුමයට කරුණක් නොවීය. ඒ අනුව එතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් නොමැති හෝර්බාට් තණතීරුවේ ලකුණු 244ක මධ්‍යස්ථ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සමත් වූහ.

රයන් හැක්නි ආරම්භක පිතිකරුවෙකු ලෙසින් අද අසමත් වුවද අනෙක් අන්තයේ සිටි මැක්ස් බ්‍රයන්ට්ගේ ප්‍රහාරය නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අද හිසරදයක් බවට පත්විය. ඔහු අද පන්දු 57කින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 67කි. හතරේ පහර 12ක් කැටිවුණු බ්‍රයන්ට්ගේ මෙම වේගවත් ඉනිම නිසා ඕස්ට්‍රේලියානුවන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදාවිය.

ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන් සියලු දෙනාම පාහේ අද ලකුණු අතරට පිවිසි අතර අංක 3 පිතිකරු ජේසන් සංගා අද හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය. ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ වේගවත් පහරකට උත්සාහ කිරීමේදී මිඩ්-විකට් හි සිට කමිඳු මෙන්ඩිස් රැකගත් උඩ පන්දුවක් නිසා ඔහුට ක්‍රීඩාගාරයට හැරී යන්නට සිදුවිය. අංක 4 පිතිකරු මැතිව් ස්පෝර්ස් අද හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 65ක් රැස් කරන්නට සමත් විය.

මෙම තරගාවලියේ දී ශතකයක් පවා වාර්තා කර ගත් ඕස්ට්‍රේලියානු නායක පාරම් උප්පල් අද අංක 6 පිතිකරු ලෙසින් පිටියට පිවිස නොදැවී ලකුණු 22ක් රැස් කර ගත්තේය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක් බිඳ හෙලන්නට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. මීට අමතරව කමිඳු මෙන්ඩිස් සහ හරීන් බුද්ධිල එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට අද කඩුලු බිඳ හෙලීමට හැකි නොවූ අතර ඕස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් ඔවුන්ව ඉලක්ක කර පන්දුවට පහර දෙනු දකින්නට ලැබුණි.

හෝර්බාට් තණතීරුවේ හොඳ ලකුණු සංඛ්‍යාවක් ලෙස සැලකිය හැකි ලකුණු 245ක ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලකුණු 53ක් පළමු කඩුල්ල වෙනුවෙන් එක් කරන්නට සමත් වූහ. එහි දී විශ්ව චතුරංග හතරේ පහර 4ක් සමගින් ලකුණු 31ක් රැස් කරද්දී ලකුණු 21ක් ලබා සිටි නිපුන සුමනසිංහ සදර්ලන්ඩ්ගේ වේග පන්දුවකට ගොදුරු විය. නමුත් එක ලඟ පන්දුවාර 3කදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් තිදෙනා දැවී ගිය නිසා ශ්‍රී ලංකාවට නැවතත් තරගයේ වාසිය ගිලිහී ගියේය.

මෙවන් වටපිටාවක් තුල දී පිටියේ එක්වුනු නායක කමිඳු මෙන්ඩිස් සහ ජෙහාන් ඩැනියෙල් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කරමින් නැවතත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන එන්නට සමත් වූහ. නායක කමිඳු මෙන්ඩිස් දැවී යාමෙන් අනතුරුව කඩුලු රකින පිතිකරු ක්‍රිෂාන් ආරච්චිගේ සමගින් එක්වුනු ජෙහාන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 192ක් දක්වාම ඔසවා තබන්නට කටයුතු කළේය.

එහි දී ක්‍රියාත්මක වුනු ඕස්ට්‍රේලියානු නායක පාරම් උප්පල් තම දකුණත් පිට දඟ පන්දුවේ ආධාරයෙන් ලකුණු 75ක් ලබාසිටි ජෙහාන් ඩැනියෙල්ව දවා ගැනීමට සමත් විය. ඒ වන විට ජයග්‍රහණය පෙනෙන මානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජෙහාන් ඩැනියෙල් පිටියේ රැඳී සිටීම පමණක් ප්‍රමාණවත්ව තිබිය දී ඔහු එල්ල කල අපරීක්ෂාකාරී පහර ශ්‍රී ලංකාවට පරාජය ගෙන දෙන්නට ප්‍රමාණවත් විය. කෙසේ වෙතත් පන්දු 89ක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් බිඳ වැටුණු අතර ක්‍රිෂාන් ආරච්චිගේ ද හතරේ පහර 3ක් සමගින් ලකුණු 36ක් ලබා සිටිය දී ලොයිඩ් පෝප්ගේ දඟ පන්දුවක් හමුවේ දැවී ගියේය. සංචාරය පුරාවට ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්වූ පෝප් අද ලකුණු 40කට කඩුලු 3ක් බිඳ හෙලීය. මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක විල් සදර්ලන්ඩ් ලකුණු 24කට කඩුලු 3ක් බිඳ හෙලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ශ්‍රී ලංකා යොවුන් පිළ අද පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ ලකුණු 221කට සීමා වීම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 23ක ජයක් හිමි විය. කෙසේ වෙතත් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ජෙහාන් ඩැනියෙල්ට තරගයේ වීරයා සම්මානය දෝත දැරීමට වාසනාව උදා විය. ඒ අනුව මාසයක පමණක් කාලයක් පුරාවට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා යොවුන් පිළේ ඕස්ට්‍රේලියානු සංචාරය අද නිමාවට පත්වූ අතර ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීම සහ එක් එක්දින තරගයක් ජය ගැනීම සංචාරය තුලදී ශ්‍රී ලංකාව උපයා ගත් ධනාත්මක සාධක බවට පත්විය.

ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 4ක් දැවී ලකුණු 244 (පන්දුවාර 50): මැක්ස් බ්‍රයන්ට් 67, මැතිව් ස්පෝර්ස් 65*, ජේසන් සංගා 59, පාරම් උප්පල් 22*, විල් සදර්ලන්ඩ් 20, රයන් හැක්නි 5, ප්‍රවීන් ජයවික්‍රම 2/47, කමිඳු මෙන්ඩිස් 1/27, හරීන් බුද්ධිල 1/27.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 48.5): ජෙහාන් ඩැනියෙල් 75, ක්‍රිෂාන් ආරච්චිගේ 36, විශ්ව චතුරංග 31, කමිඳු මෙන්ඩිස් 25, නිපුන සුමනසිංහ 21, හරීන් බුද්ධිල 10*, විල් සදර්ලන්ඩ් 3/24, ලොයිඩ් පෝප් 3/40, මැතිව් ස්පෝර්ස් 2/24.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට