ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු 20-20 තරග සංචාරය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය අද (17) පුංචි ශ්‍රී ලංකාව ලෙස හඳුන්වනු ලබන මෙල්බර්න් ක්‍රීඩා පිටියේ දී අවසන් වූ අතර එම තරගයෙන් කඩුලු 5ක සුපිරි ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සුබ සිහින දල්වමින් පුහුණු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය ඉහළින්ම රස විඳිය හැකි අතිශය උණුසුම් ක්‍රිකට් තරගාවලියක ආරම්භය සිදුවීමට තවත් ඉතිරිව ඇත්තේ දින 2කටත් අඩු කාලයකි.

මෙල්බර්න් තණතීරුව මත කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා නායක උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පළමුව පන්දු යැවීමට අවස්ථාව ලබා දෙන ලදි.

විකුම් සංජය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් මෙම තරගයේ පළමුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙපල වන මයිකල් කිලින්ගර් හා නායක ආරෝන් ෆිනිච් පළමු පන්දුවාර 6 තුල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 47ක් උදුරා ගනිමින් වේගවත් පිතිකරණයක නිරත විය. එම ආරම්භක සබඳතාවය ලකුණු 76කට සීමා කිරීමට ලක්ෂාන් සඳකැන් සමත් වූයේ 4 පහර 4ක් සමඟින් ලකුණු 38ක් ලබාගෙන සිටි ක්ලින්ගර් දවාලීමත් සමඟිනුයි. මෙම තරගය තුල සීකුගේ ප්‍රසන්න හා ෆින්ච් අතර යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ප්‍රවේගකාරීව ලකුණු ලබා ගත් ෆින්ච් 4 පහර 2ක් හා 6 පහර 2ක් අන්තර්ගත කරගෙන ලකුණු 43ක් ලබාගෙන සිටිය දී ලසිත් මාලිංග අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සහනයක් විය. එමෙන්ම ෆින්ච් අද තරගය තුල අන්තර්ජාතික 20-20 තරග වල ලකුණු 1000 සීමාව පසු කල 3වන ඕස්ට්‍රේලියානුවා බවට ද පත්විය.

ප්‍රථම විස්සයි 20 තරගයේ ඡායාරූප ඇල්බමය

විකුම් සංජය තම මංගල එක්දින කඩුල්ල ලෙස මොයිසස් හෙන්රිකස් ලකුණු 17කට දවාලමින් තම ක්‍රිකට් ජීවිත පොතේ නව පිටුවක් ලියූ අතර, ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අවසන් පන්දුවාර 6 තුල කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබා ගන්නා ලදි. ට්‍රැවිස් හෙඩ් ඕස්ට්‍රේලියානු මැදපෙළ සවිමත් කරමින් ලකුණු 31ක් ලබාගෙන ක්‍රීඩාගාරයට හැරී ගියේය. ලසිත් මාලිංගගේ අවසන් පන්දුවාරය තුල පිට පිට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූයේ සීකුගේ ප්‍රසන්නගේ ද සහයත් ඇතිවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම තරමක් දුර්වල මට්ටමක පැවතුණු බවක් පෙනෙන්නට තිබුණි. අවසානයේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 168කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

ලකුණු 169ක් හඹායන ගමනේ ආරම්භ කඩුල්ලේ සබඳතාවය ලකුණු 5කට සීමා කරමින් උපුල් තරංග ලකුණු නොලබාම දැවී ගියේ පැට්රික් කමින්ස්ගේ පන්දුවකටයි. පසුව පළමු පන්දුවාර 6 තුල විදුලි වේගයෙන් පිත්ත ක්‍රියාත්මක කල ඩිල්ශාන් මුණවීර හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක් ලකුණු පුවරුවේ සටහන් කරවූයේ එක් පන්දු වාරයකට ලකුණු 10කට වැඩි දල ලකුණු වේගයක් රදවාගෙනයි.

ලකුණු 74ක් ගොඩනැංවූ දෙවන කඩුල්ලේ සබඳතාවයට තිත තබමින් 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 30ක් ලබාගෙන සිටි දික්වැල්ල ඇඩම් සැම්පාගේ ඉපිලී ආ පන්දුවකට දැවී ගියේය. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට නොපැකිලව කඩුල්ල විවෘත කරමින් වේගවත් පිතිකරණයක් දියත් කල මුණවීර පන්දු 29කදී 4 පහර 6ක් තම ගිණුමට බැර කරගෙන ලකුණු 44ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර වූ අසේල ගුණරත්න 4 පහර 7ක් සමඟින් තැනට සුදුසු පිතිකරණයක් ඕස්ට්‍රේලියානු පන්දු හමුවේ දියත් කල අතර ඔහු තම මංගල අර්ධ ශතකය එහි දී වාර්තා කරන ලදි.

අවසන් පන්දු වාරයට ලකුණු 6ක්, ජයග්‍රහණය සඳහා චාමර කපුගෙදර හා සීකුගේ ප්‍රසන්න හට ලබා ගැනීමට නියමිතව තිබූ අතර, කපුගෙදර අවසන් පන්දුවට දර්ශනීය 4 පහරක් එල්ල කලේ ප්‍රේක්ෂකාගාරයේ හද ගැස්ම ද මොහොතකට නතර කරමිනි. නොදැවී ක්‍රීඩා කල චාමර කපුගෙදර ලකුණු 10*ක් හා සීකුගේ ප්‍රසන්න නොදැවී ලකුණු 8*ක් ලබා ගන්නා ලදි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 168 (20): ආරෝන් ෆින්ච් 43, මයිකල් ක්ලින්ගර් 38, ට්‍රැවිස් හෙඩ් 31, ජේම්ස් ටර්නර් 18, මොයිසස් හෙන්රිකස් 17, ලසිත් මාලිංග 2/29, ලක්ෂාන් සඳකැන් 1/30

ශ්‍රී ලංකා කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 172 (20): අසේල ගුණරත්න 52 ,ඩිල්ශාන් මුණවීර 44, නිරෝෂන් දික්වැල්ල 30, මිලින්ද සිරිවර්ධන 15, ජේම්ස් ටර්නර් 2/12, ඇඩම් සැම්පා 2/26

  • තරගයේ වීරයා – අසේල ගුණරත්න

දෙරට අතර මීළඟ 20-20 තරගය ලබන 19 වැනි ඉරිදා වික්ටෝරියා හිදී ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.50ට ආරම්භ වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට