ස්ටීව්ගේ දඟ කැවීමෙන් ශ්‍රී ලංකා පිත්ත දඟ කැවෙයි

224
CRICKET-SRI-AUS
©AFP

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ  අන්තර් ජාතික ක්‍රිකට්  තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේ පළමු දිනය අද (18) පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.

පසුගිය ලිපි: එංගලන්ත සංචාරයේ නායකත්වය චරිත් අසලංකට

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අසමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 32ක් වන විට දවාලීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.

අනතුරුව පිටියේ 4වන කඩුල්ල සඳහා එක්වූ කණ්ඩායම් නායක මිලින්ද සිරිවර්ධන හා අසේල සම්පත් කඩා වැටුණු ඉණිම ගොඩනැංවීමට හැකි සබඳතාවයක් නිර්මාණය සමත් විය. එම සබඳතාවය ලකුණු 101ක විශිෂ්ට සබඳතාවයක් දක්වා දිගු කරගැනීමට එම දෙපල සමත් විය. අසේල දර්ශනීය 4  පහරවල් 9ක් සමඟ ලකුණු 58ක් හා නායකත්වයක ඉණිමක් ක්‍රීඩා කල මිලින්ද 4 පහරවල් 7ක් හා 6 පහරවල් 2ක් සමඟ ලකුණු 53ක් ලබාගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 85ක තවත් හොඳ සබඳතාවයක් 7 වන කඩුල්ල සඳහා  පවත්වාගැනීමට මිලින්ද හා චතුරංග සිල්වා සමත් විය. කෙසේ වෙතත් ලකුණු 135කට කඩුලු 6ක් දැවී ගොස් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ තවත් සවිමත් කරමින් චතුරංග 4 පහරවල් 10ක් සමඟ ලකුණු 49කට අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.  අවසන් කඩුලු 4 ලකුණු 9ක් වැනි සුළු ලකුණු ගණනකට වේගයෙන් දවාලීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. මෙහිදී ස්ටෙෆාන් ජොන් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම පළමු ඉණිම – 229 -10 (57.2) අසේල සම්පත් 58, මිලින්ද සිරිවර්ධන 53, චතුරංග ද සිල්වා 49, දසුන් ශානක 39 ස්ටෙෆාන් ජෝන් 5/43, මුන්රෝ බර්ඩ් 2/26, මෙචෙල් ස්ටාක් 2/39

අනතුරුව තම පළමු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු කඩුල්ල සඳහා ලකුණු 97ක විශිෂ්ට සබඳතාවයක් පැවැත්වා ගැනීමට ශෝන් මාෂ් හා ඇන්තනී බර්න්ස් සමත් විය. බර්න්ස් 4 පහරවල් 5ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 67*ක් ලබාගනිමින් කඩුල්ලේ රැදී සිටින අතර මාෂ්  4 පහරවල් 9ක් සමඟ ලකුණු 47කට දවාලීමට ශෙහාන් ජයසූරිය සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම  (පළමු දිනය නිමාවන විට) – 127-1 (32) ඇන්තනී බර්න්ස් 64*, ශෝන් මාෂ් 47, උස්මාන් කවාජා 11* , ශෙහාන් ජයසූරිය 1/23

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 9 ක් අතැතිව  තවත් ලකුණු 102 ක් පිටුපසින් සිටියි.

හෙට (19) තරගයේ දෙවන දිනයයි

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට