ඩි කොක්ගේ සුපිරි නායකත්වය තරගයක් කණපිට හරවයි!

80

දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා T20 තරගාවලියේ උණුසුම තව තවත් තීවෘ කරමින් ඊයේ (23) පෝට් එළිසබෙත් හිදී දෙවැනි තරගය නිමාවට පත්වූයේ දකුණු අප්‍රිකාවට ලකුණු 12ක ජයක් හිමිකර දෙමිනි. එබැවින් මේ වනවිට සමස්ථ ප්‍රතිඵලය පවතින්නේ තරග 1-1ක් ලෙස සම තත්ත්වයකයි. මෙම තරගය ඕස්ට්‍රේලියානුවන්ගෙන් උදුරා ගැනීමට දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි කොක්ගේ විශිෂ්ට නායකත්වය, පිතිකරණය සහ පන්දු යවන්නන්ගේ දක්ෂතාවය දැඩි ලෙස ඉවහල් විය.

දකුණු අප්‍රිකාව අන්ත අසරණ කළ අගාර්ගේ කඩුලු ත්‍රිත්වය!

ජොහැන්ස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී ….

කාසියේ වාසිය දිනාගත් ක්වින්ටන් ඩි කොක් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබාදුන් අතර වේග පන්දු යවන්නන්ගේ අභියෝගය මැද සටන්කාමී පිති හරඹයක නිරත වූ ඔවුන් තමන්ට නියමිත පන්දුවාර 20 තුලදී ලකුණු 158ක් ලබා ගත්හ. ඒ අතරතුරේදී බිඳ වැටුනේ කඩුලු 4ක් පමණි. වෙනදා මෙන්ම දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කැරකැවීමට වැඩි දායකත්වය සැපයූ ක්වින්ටන් ඩි කොක් පන්දු 47කදී ලකුණු 70ක් වාර්තා කළේය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟයි.

මීට අමතරව කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වූයේ මැදපෙළ පිතිකරු වැන් ඩර් ඩසේන් පමණි. පන්දු 26කට මුහුණ දුන් ඔහු ලකුණු 37ක් ලබා ගත්තේ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් එල්ල කරමිනි. මේ දිනවල ලකුණු ඉඩෝරයකට හසුව සිටින ඩු ප්ලෙසිස් ලකුණු 15ක් ද, රීසා හෙන්රික්ස් ලකුණු 14ක් ද ලබා ගත්තේය. පන්දු යැවීමේ දී කේන් රිචඩ්සන් කඩුලු 2ක් බිඳ හෙලද්දී පැට් කමින්ස් සහ ඇඩම් සැම්පා එක් කඩුල්ල බැගින් දවා ගත්හ. 

ආරම්භය දියාරු කළ මැදපෙළ ගැටලුව නිසා ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

2020 කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ..

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ ඕස්ට්‍රේලියානු පිළ පළමු කඩුල්ල වෙනුවෙන් ප්‍රවේගකාරී ලකුණු 48ක් එක් කළද එතැන් පටන් ලකුණු වේගය නියමිත පරිදි රඳවා ගැනීමට අසමත් වූහ. ඒ ලුන්ගි න්ගිඩි හැරුණු කොට අනෙක් පන්දු යවන්නන් සියලු දෙනාම T20 තරගයකට උචිත අයුරින් පන්දු යැවීමේ යෙදුනු බැවිනි. කෙසේවෙතත් න්ගිඩිගේ වෑයම අවතක්සේරු කළ නොහැක්කේ යම් ප්‍රහාරයකට ලක් වුවද ඔහු ප්‍රතිවාදී කඩුලු 3ක් බිඳ හෙලූ බැවිනි. 

සුවිශේෂීම සිදුවීම වන්නේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් ඉනිම අවසන් වනතුරුම නොදැවී කඩුල්ලේ රැඳී සිටියද කැන්ගරුවන්ට මෙම ඉලක්කය ජයගත නොහැකි වීමයි. ලොව පුරා සීමිත පන්දුවාර තරග වලදී මෙන්ම ලීග් ක්‍රිකට් තරගාවලි වලදී ද සුපිරි පිතිකරුවෙකුට පවා ක්‍රිකට් ක්‍රීඩාවේ දී තනිවම තරග දිනවිය නොහැකි බවට මෙය හොඳ උදාහරණයකි. පෞද්ගලිකව සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ වෝනර් පන්දු 56කදී ලකුණු 67ක් ලබා ගත්තේය.

MCC ඉනිමට සංගක්කාරගෙන් අර්ධ ශතකයක්

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් Marylebone …..

මීට අමතරව ස්ටීවන් ස්මිත් ලකුණු 29ක් ද, ෆින්ච් සහ ඇලෙක්ස් කෙරී ලකුණු 14 බැගින් ද ලබා ගත්තද එය සත්කාරක ඕස්ට්‍රේලියානුවන් දිනවීමට ප්‍රමාණවත් වූයේ නැත. එබැවින් ඉනිම නිමා වනවිට කඩුලු 6ක් දැවී ගොස් තිබූ කැන්ගරුවන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුනේ 146ක් වශයෙනි. ඒ අනුව සංචාරක දකුණු අප්‍රිකාවට තරගාවලි සම කරගෙන තරගාවලි ජයක් පිලිබඳ බලාපොරොත්තු තබා ගැනීමට ද හැකිවිය. දෙරට අතර තෙවැනි සහ අවසන් T20 තරගය අනිද්දා (26) කේප්ටවුන් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකාව – කඩුලු 4ක් දැවී ලකුණු 158 (පන්දුවාර 20)

ක්වින්ටන් ඩි කොක් 70, වැන් ඩර් ඩසේන් 37, ෆැෆ් ඩු ප්ලෙසිස් 15, රීසා හෙන්රික්ස් 14, ඩේවිඩ් මිලර් 11*, කේන් රිචඩ්සන් 2/21, පැට් කමින්ස් 1/31, ඇඩම් සැම්පා 1/37.

ඕස්ට්‍රේලියාව – කඩුලු 6ක් දැවී ලකුණු 146 (පන්දුවාර 20)

ඩේවිඩ් වෝනර් 67*, ස්ටීවන් ස්මිත් 29, ඒරෝන් ෆින්ච් 14, ඇලෙක්ස් කෙරී 14, මිචෙල් මාශ් 6, ලුන්ගි න්ගිඩි 3/41, ඇන්රිච් නොට්ජේ 1/24, කාගිසෝ රබාඩා 1/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<