ධවාන් සහ රාහුල් කැන්ගරුවන්ගෙන් පළි ගනිති

81

මීට දින කිහිපයකට පෙර තම මව්බිමේදීම තමන්ව දැවැන්ත අවමානයකට ලක් කිරීමේ වාඩුව ගැනීමට අද (17) ශිකර් ධවාන්, ලෝකේෂ් රාහුල් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදාවිය. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමිනි. 

ඉන්දියාවට සුපිරි කෑමක්!

ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් විසින්…

මේ අනුව තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පැමිණීමත් සමඟ දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට අනාවැකි පළ කළ හැකිය.

රාජ්කොට් හි පැවති මෙම තරගයේ දී දෙපිළේම පිතිකරුවන් විශිෂ්ට දක්ෂතා දැක්වූ අතර තරගයේ මුළු ලකුණු 644ක් වාර්තා විය. ශ්‍රී ලංකාවට ද ඉතාමත් සුවිශේෂී වී ඇති මෙම පිටියේ දී අවසන් වරට පැවති තරගයේ දී ඉන්දියාව ලබාදුන් 415ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව විශිෂ්ට සටනක් ලබා දෙමින් ලකුණු 411ක් රැස් කළ අයුරු තවමත් ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී ඇතිවාට සැකයක් නැත.

අද කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු පිළ පෙර තරගයේ ලකුණු හඹාගොස් කඩුලු 10ක සුපිරි ජයක් ලබාගත් අන්දම සිහියට ගනිමින් මුලින් පන්දු යැවීම තෝරා ගත්තද ඉක්මනින් කඩුලු කිහිපයක් දවා ගැනීමට ඔවුන්ට අවකාශය උදාවූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 81ක සබඳතාවයක් වර්ධනය වී ඉන්දීය පිළට විශාල ලකුණු පුවරුවක් කරා යාමට අවශ්‍ය වන අඩිතාලම වැටීමයි.

එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ශිකර් ධවාන් අද පන්දු 90කට මුහුණ දෙමින් ලකුණු 96ක් රැස්කර ගත්තේ තම ශතකය පෙනෙන මානයට පැමිණෙමිනි. කෙසේවෙතත් කේන් රිචඩ්සන්ගේ පන්දුවක් හමුවේ සමස්ථ ප්‍රේක්ෂකාගාරයම නිහඬ කරමින් දැවී යන විට ඔහු හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් එල්ල කොට තිබුණි. ඔහු දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක කෝලි සමඟ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට ද සමත් විය.

ඩර්බන් වීරයාට වැට බැඳි අරුම පුදුම තේරීම

දක්ෂයාට නිසි තැන ලබා දෙමින්, ඔවුන් සතු හැකියාවන් තවදුරටත් ඔප්නංවාලීමට අවශ්‍ය අතහිත නොමදව…

මෙය ඉන්දීය පිළ ජයගත යුතුම තරගයක් වූ නිසා විරාත් කෝලිද පිතිපෙළේ සිව්වැනි ස්ථානයේ අත්හදාබැලීම් නවතා දමා තමාට වඩාත් හොඳින් ගැලපෙන අංක 3 ස්ථානයේ පන්දුවට පහර දුන් අතර අද ලකුණු 78ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අතරතුරේ ඔහු හතරේ පහර 6ක් එල්ල කළේය. මීට අමතරව මැදපෙළ පිතිකරුවෙකුගේ වගකීම අකුරටම ඉටුකළ ලෝකේෂ් රාහුල් අද ක්‍රීඩාකළ ප්‍රවේගකාරී ඉනිම නිසා ඉන්දීය පිළට ලකුණු 300 සීමාව ඉක්මවා ඉදිරියට යාමට පහසු විය.

එහිදී විස්සයි විස්ස තරගයක රිද්මය කැටිව රාහුල් ක්‍රීඩා කළ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. සියල්ල අවසන ඉන්දීය බලාපොරොත්තු සඵල කරමින් ඔහු දැවී යනවිට පන්දු 52කදී ලකුණු 80ක් රැස්කර ගැනීමට රාහුල් සමත්කම් දක්වා තිබුණි. ඒ අනුව ඉන්දීය ඉනිම ලකුණු 340ක් දක්වා වර්ධනය වූ අතර පන්දු යැවීමේ දී ඇඩම් සැම්පා කඩුලු 3ක් ද, කේන් රිචඩ්සන් කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් වූහ.

මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමේදී මුල සිටම ලකුණු පුවරුවේ පීඩනය කැන්ගරු පිතිකරුවන් වෙත පැටවුනු අතර පසුගිය තරගයේ දී ශතක වාර්තා කළ ඩේවිඩ් වෝනර් සහ ඒරෝන් ෆින්ච් යන දෙදෙනාටම අද දීර්ඝ ඉනිම් කරා යාමට නොහැකි විය. එහිදී මැදපෙළ පිතිකරුවන් ලෙස ශතකයකට ආසන්න සබඳතාවයක් ගොඩ නගමින් තරගය නැවතත් තමන් වෙතට නතුකර ගන්නේ ස්ටීවන් ස්මිත් සහ මාර්නස් ල’බුශේන් යන වර්තමානයේ හොඳින්ම ලකුණු අතර සිටින ක්‍රීඩකයින් දෙදෙනායි.

බෝල්ට්, ලෝකි වෙනුවට හාමිශ් වසර 3කට පසු නවසීලන්ත කණ්ඩායමට

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා නවසීලන්ත…

එහිදී තම පළමු එක්දින ඉනිම ක්‍රීඩා කළ ල’බුශේන් අද ලකුණු 46ක් ලබා සිටියදී ජඩේජාගේ දඟ පන්දුවකට ගොදුරු වූ අතර ස්ටීවන් ස්මිත් විශිෂ්ට සටනක් ලබා දෙමින් ලකුණු 98ක් රැස් කළේය. තවත් පන්දුවාර 10ක් කඩුල්ලේ රැඳී සිටියානම් නියත වශයෙන්ම ඉන්දියානුවන්ගෙන් තරගය උදුරා ගැනීමට තරම් කුසලතාවයක් සහිත මෙම විශිෂ්ට ක්‍රීඩකයා ශතකය පෙනි පෙනී දැවී යනවිට හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් එල්ල කොට තිබුණි.

ඉන් අනතුරුව පිටියට පිවිසි ඇලෙක්ස් කැරී, ඇශ්ටන් ටනර්, ඇශ්ටන් අගාර් ඇතුළු පිතිකරුවන්ට අද විශාල ඉනිමක් කරා යාමට නොහැකි වූ නිසා ඕස්ට්‍රේලියානු පිළට සිදුවූයේ දෙවැනි තරගයෙන් පරාජයට පත්වීමටයි. ඒ අනුව අවසන් පන්දුවාරයේ දී අවසන් කඩුල්ල බිඳ වැටෙන විට ඕස්ට්‍රේලියානු පිළ මුළු ලකුණු 304ක් රැස්කර අවසන්ව තිබුණි. පන්දු යැවීමේ දී මොහොමඩ් ශමී කඩුලු 3ක් බිඳ හෙලීය.

ස්ටර්ලින්ගේ පිත්තෙන් කොදෙව්වන්ට සැර පහරක්!

විස්සයි විස්ස තරගයක දැකිය හැකි උපරිම රසවින්දනයක් සහිත තරගයක් ඊයේ (16) රාත්‍රියේ ග්‍රෙනාඩා හිදී…

විස්සයි විස්ස තරගයක දැකිය හැකි උපරිම රසවින්දනයක් සහිත තරගයක් ඊයේ (16) රාත්‍රියේ ග්‍රෙනාඩා හිදී…

තරගයේ වීරයා තෝරා ගැනීමේ දී වැඩිම ලකුණු ලාභියා හෝ කඩුලු ලාභියා වෙනුවට තරගයට වැඩිම බලපෑමක් සිදුකල ක්‍රීඩකයා තෝරාගත් තරග සංවිධායකයින් අඩු පන්දු ගණනක් තුල වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලෝකේෂ් රාහුල්ට එම සම්මානය ලබා දීමට කටයුතු කළහ. දෙරට අතර අතිශයින්ම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සැළකිය හැකි තෙවැනි එක්දින තරගය අනිද්දා (19) බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දියාව – කඩුලු 6ක් දැවී ලකුණු 340 (පන්දුවාර 50)

ශිකර් ධවාන් 96, ලෝකේෂ් රාහුල් 80, විරාත් කෝලි 78, රෝහිත් ශර්මා 42, රවීන්ද්‍ර ජඩේජා 20*, ඇඩම් සැම්පා 3/50, කේන් රිචඩ්සන් 2/73.

ඕස්ට්‍රේලියාව – සියල්ලන්ම දැවී ලකුණු 304 (පන්දුවාර 49.1)

ස්ටීවන් ස්මිත් 98, මාර්නස් ල’බුශේන් 46, ඒරෝන් ෆින්ච් 33, ඇශ්ටන් අගාර් 25, කේන් රිචඩ්සන් 24*, ඇලෙක්ස් කැරී 18, මොහොමඩ් ශමී 3/77, රවීන්ද්‍ර ජඩේජා 2/58, නව්දීප් සයිනි 2/62.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<