ස්මිත්ට මගහැරුණු පාඩම ඕස්ට්‍රේලියාවටම සාපයක් වූ හැටි

4485

ඕස්ට්‍රේලියාවට යනු සෙසු රටවලට සාපේක්ෂව වඩා වැඩි සැලසුමක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන රටකි. කිලිටි වූ පසු උනා දමා නව ඇඳුමක් ඇඟ ලා ගන්නා පරිද්දෙන් වූ සැලසුම් ඔවුන්ගේ ක්‍රමවේදයේ නොමැත. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ගනු ලබන සෑම තීරණයක්ම අනාගතයට මනා ආයෝජනයක් වන පරිදි ගනු ලබයි.

උදාහරණයක් ලෙස ගෙවී ගිය 2017 වසරේ දී ශ‍්‍රී ලංකාව මෙහෙයවීමට නායකයන් හය දෙනෙකු පත් කරන තත්ත්වයක දී ඕස්ට්‍රේලියාව එ් සඳහා වසර ගණනාවක් තිස්සේ නායකත්වයට සුදුස්සකු පුරුදු පුහුණු කරවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ස්ටීවන් ස්මිත් නම් වූ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වන්නේය.

ස්මිත්ව නායකත්වය සඳහා හුරු කරන ලද්දේ දෙතුන් වතාවක රැවුඅල කැපීමෙන් පසු ඉවතලන බ්ලේඩ් තලයක් මෙන් නොව, 2019 මෙන්ම 2023 වසරවල පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලි තෙක්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ අරමුණ පෙරදැරිවය. එ් සඳහා ස්මිත් සතුව  ඕනෑවටත් වඩා සුදුසුකම් තිබූ අතර එහි වැදගත්ම සුදුසුකම වූයේ තවමත් ඔහු ළාබාල වියේ පසුවීමය. ඕස්ට්‍රේලියානු ක‍්‍රිකට් කළමනාකාරිත්වය බලාපොරොත්තු වූ අයුරින්ම තම වගකීම අකුරටම ඉටු කළ ස්මිත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියට රැගෙන ගියේ ටෙස්ට් අංශයේ ලොව අංක 1 පිතිකරුවා ලෙස තම නාමය ද ජාත්‍යන්තරයේ රඳවා තබා ගනිමිනි.

ස්මිත් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ©Hindustan Times

ලොවක් දිනවන හැටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ස්මිත්ට කියා දුන්නේය. ස්මිත් ද එ් පාඩම් හොඳින් අධ්‍යයනය කොට අකුරටම වැඩේ කළේය. එහෙත් ලොවක් දිනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්, ස්මිත්ට ගුරුහරුකම් කියා දුන් පාඩමේ අතපසු වූ පාඩමක් ද විය. ඒ පරාජයේ දී ඉවසා දරාගෙන සිටීමය. ලොව දිනන හැටි කියා දුන් ක‍්‍රමවේදයේ අතුරු පාඩමක් ලෙස හෝ ඒ පිළිබඳව ස්මිත්ට කියා දුන්නේ නම් 18 වැනි සියවස (1877 වසරට*) තරම් ඈත අතීතයක උරුමකම් කියන ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ඉකුත් දා එක්වුණු මකා දමාලිය නොහැකි කළු පැල්ලම එක් නොවනු ඇත.

එංගලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයග්‍රහණය කරමින් ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙසින් ජාත්‍යන්තරයට ඔසවා තැබීය. පරාජය වීමට ඇති අකමැත්ත නිසාවෙන්ම පන්දුව පළුදු කිරීමට ස්ටීවන් ස්මිත් පෙලඹීම නිසා එදා මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට පත්වූ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙදා මහත් හොරුන්ගේ ක්‍රීඩාවක් බවට පත්වී තිබේ.

එංගලන්තය සහ පාකිස්තානය අතර 2010 වසරේ පැවති ටෙස්ට් තරගයේ දී බුකීකරුවන්ට උවමනා පරිදි ක්‍රීඩා කළේ යැයි පාකිස්තානු නායක සල්මන් බට් ඇතුළු තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු වරදකරුවන් බවට පත්වූ සිදුවීමෙන් පසු වැඩිම පිරිසකගේ අවධානය යොමු වුන සිදුවීම ලෙස ඉකුත් දා දකුණු අප්‍රිකාව සමඟ කේප්ටවුන්හිදී සිදුවුණු පන්දුව පළුදු කිරීමේ සිදුවීම වාර්තා වීම ද කැපී පෙනෙයි.

©News18

තරග 4 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දිවා ආහාරයෙන් පසු පන්දු රැකීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බෑන්ක්‍රොෆ්ට්, පන්දුව ඔහු වෙතට පැමිණෙන විට එය දෑතින් ගෙන ඔප දමන අවස්ථාවේ දී කහ පැහැති යමක් කලිසම් සාක්කුවෙන් ගෙන පන්දුව මත තබා අත්ලෙන් පිරිමදින ආකාරයත්, පසුව එය කලිසම් සාක්කුවෙන් ගෙන තම යට ඇඳුම තුළට දමා ගන්නා ආකාරය කැමරා කාචයේ සටහන් වීමත් සමඟ මෙම හොර මගඩියේ සියලු තොරතුරු හෙළිවන්නට විය. සොටානි ඔස්කාර් නම් වූ දකුණු අප්‍රිකානු කැමරා ශිල්පියා විසින් හසුකරගන්නා ලද එම කැමරා සටහනට අනුව කරන ලද පරීක්ෂණයේ දී එම කහ පැහැති පටිය උපයෝගී කරගනිමින් පන්දුව පළුදු කළ බව පිළිගැනීමට බෑන්ක්‍රොෆ්ට් සිදු විය. එපමණක් නොව මෙය තමන් තනිවම සිදු නොකළ බවත්, එයට නායක ස්ටීවන් ස්මිත් මෙන්ම උප නායක ඩේවිඩ් වෝනර් ද සම්බන්ධ වූ බවට කරුණු අනාවරණය වීම නිසා ක්‍රිකට් කණ්ඩායම පමණක් නොව මුලු මහත් ඕස්ට්‍රේලියාවම ලෝකයා හමුවේ නොසිතූ අර්බුදයකට ඇද වැටුණි.

©goldgags.com

මේ සම්බන්ධ පුවත ජාත්‍යන්තර මාධ්‍යයෙන් ප්‍රචාරය වීමත් සමඟ බොහෝ පිරිස් ස්ටීවන් ස්මිත් ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විරුද්ධව දැඩි විවේචන එල්ල කළ අතර විධිමත් වූ පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙසට බලපෑම් එල්ල විය. එසේ බලපෑම් එල්ල කරන ලද පිරිස අතරට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ද ඇතුළත්ව සිටීම වරදකරුවන්ට වූ දඬුවම ලිහිල් වීමකට මං අවහිර කරවන්නක් විය.

කැමරාශිල්පී සොටානිට පිං සිදුවන්නට ලැබුණු ප‍්‍රමාණවත් සාක්ෂි මත සැකකරුවන් වරදකරුවන් බවට පත්වූ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් තිදෙනාටම සිව්වැනි ටෙස්ට් තරගය තහනම් කෙරිණි. එපමණක් නොව පැවැත්වෙමින් තිබූ තරගයේ නායකත්වය ස්මිත්ගෙන් ගලවා ටිම් පේන්ගේ කර මතට පැටවීමට එරට ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කළේය.  මතක ඇති ඉතිහාසයක ටෙස්ට් තරගයක් පැවැත්වෙමින් තිබෙන අතරතුර දී නායකයා ඉවත් කොට වෙනත් අයෙකුව එ් සඳහා පත් කිරීමට පියවර ගනු ලැබූ පළමු අවස්ථාව වශයෙන් ද මෙම අවස්ථාව ඉතිහාසයට එක්විය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා
©AFP

ඕස්ට්‍රේලියාවේ සමස්ත ප්‍රතිරූපයට සෘජුවම බලපෑමක් එල්ල කරන සිදුවීමක් බවට පත්වූ මෙම සිදුවීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම හරහා වරදකරුවන්ට මීට වඩා දඬුවමක් ලබා දිය යුතු බව බොහෝ දෙනාගේ මතය බවට පත්විය. එ් අනුව හිටපු නායක මාක් ටේලර් ඇතුළු තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ඇතුළත්ව පත් කරන ලද කමිටුවක් මගින් ස්මිත්ලාට දෙන දඬුවම පිළිබඳව තීරණයක් ගැනිණි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට සෘජුවම හානිකරනු ලබන සිදුවීමක් බවට පත්වූ මෙම සිදුවීමේ දී බහුතරයකගේ මතය වූයේ ජීවිතාන්තය දක්වා ඔවුන්ට ක්‍රිකට් තහනම් කළ යුතු බවයි. එහෙත් අවසානයේ තීන්දුවකට පැමිණි එම කමිටුව, ස්ටීවන් ස්මිත්ට සහ ඩේවිඩ් වෝනර්ට එය ජාතික මෙන්ම ජාත්‍යන්තරව බල පැවැත්වෙන පරිදි වසරක ක්‍රිකට් තරග තහනමක් පනවන ලදි. එපමණක් නොව එම දඬුවම ලබා දෙන ලද්දේ ඕස්ට්‍රේලියානු පිලේ නායකත්වය යළිත් ඔවුන්ට හිමි නොවන අන්දමට බල පැවැත්වෙන පරිදීය.

කෙසේ වෙතත් වරදකරුවන්ට ලබා දුන් දඬුවම ප්‍රමාණවත් ද යන්න මේ දිනවල සමාජ ජාලා මෙන්ම ඇතැම් මාධ්‍යය දැඩි ලෙස මාතෘකාවට බඳුන් වී තිබේ. මෙවැනි ආකාරයේ සිදුවීමකට දඬුවම් ලබා දීමේ දී විවිධ මත ඇතිවීමේ ප්‍රවණතාවක් මතු වන අතර එය ඔවුනොවුන් එම සිදුවීම දෙස බලන කෝණය අනුව වෙනස් වනු ඇත. මෙවැනි ආකාරයේ සිදුවීම් ක්‍රිකට් ලොව මීට පෙර  ඕනෑ තරම් ඇතිවී තිබෙන බැවින් මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ හෝ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය නොවන බවත් මතක් කර දිය යුතුය.

මාධ්‍ය හමුවේ දී ස්මිත් හඬා වැටෙමින් ©AFP

මෙලොව වැරදි සිදුවන ක‍්‍රම දෙකකි. එකක් වැරැද්දක් බව දැන දැනම වැරැදි සිදුකිරීම වන අතර අනෙක නොදැනුවත්ව වැරදි සිදුවීම ය. සරළවම කිවහොත් එය ‘සිදුකිරීම’ සහ ‘සිදුවීම’ අතර දෝලනය වන්නකි. මේ සියල්ලටම දඬුවම් ක්‍රියාත්මක වන අතර වැරැද්දේ ස්වභාවය අනුව ලබා දෙන දඬුවමේ ප්‍රමාණය තීරණය වනු ඇත. මේ අතරින් ඕස්ට්‍රේලියානු නායකයා කර ඇත්තේ දැන දැනම වැරදි කිරීම සහ අන් අයව ද එ් සඳහා පොළඹවා ගැනීමය. මෙය බරපතළ තත්ත්වයකි. තමන්ගේ වටිනාකම නොතේරීම, දක්ෂතාවය පිළිබඳ ඇති විශ්වාසය ගිලිහී යෑම මෙන්ම ආරම්භයේ සඳහන් කළාක් මෙන් පරාජය වීමට ඇති අකමැත්ත යන කරුණු පිළිබඳ අවබෝධය ස්මිත්ගේ මනසින් ගිලිහී යෑම මේ සියල්ලට හේතු වුවාට කිසිදු සැකයක් නැත.

තත්ත්වය මෙතැකින් නිමා වූයේ නම් කමක් නැත. නැත. එහි තවමත් නතර වී නැති සේයාවකි. මෙම සිදුවීම සඳහා ස්මිත්, වෝනර් සහ බෑන්ක්‍රොෆ්ට් පමණක් සම්බන්ධ බවට තීරණය වෙමින් දඬුවම් නියම වුවද මෙය ඊට එහා ගිය සැලසුමක් ය යන්න දැන් දැන් කරුණු අනාවරණය වෙමින් පවතියි. එ් මන්ද යත් පන්දුව පළුදු කිරීමේ අවස්ථාවට ප‍්‍රථම කාල සීමාවේ දී ක්‍රීඩාංගණය ඇතුළතේ මෙන්ම ඉන් පිටත දී ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳව උවමනාවෙන් නිරීක්ෂණය කිරීමේ දී ය.

එසේ සඳහන් කර සිටින්නේ බෑන්ක්‍රොෆ්ට්ගේ නොමනා ක්‍රියාව සිදුවීමට මිනිත්තු කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු පිලේ පුහුණුකරු සහ අතිරේක ක්‍රීඩකයන් අතර වෝකි ටෝකි උපකරණ උපයෝගී කර ගනිමින් අදහස් හුවමාරු කර ගැනීමය. අදාළ අදහස් හුවමාරුවෙන් මිනිත්තු කිහිපයකට පසු අතිරේක ක්‍රීඩකයකුට ක්‍රීඩාංගණයට පිවිසීම ද එම සැලසුමෙහි එක් කොටසක් බවට සැක පහළ කර සිටියි. කෙසේ වෙතත් අදාළ වීඩියෝ උපයෝගී කරගනිමින් මෙහි ඇති සත්‍ය අසත්‍ය භාවය විමසා බැලීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ගණනාවක් මේ වන වටත් ඉදිරිපත් වී තිබීම නිසා එ් පිළිබඳ වූ තොරතුරු අනාගතයේ දී දැන ගැනීමට අවස්ථාව උදාාවනු ඇත.

සිදුවීම හා අදාළ මේ ලිපිත් කියවන්න

මේ සියල්ල දෙස අවධානය යොමු කිරීමේ දී පැන නැගෙන +තවත් ගැටලුවක් වන්නේ මේ සම්බන්ධව කිසිවක් ඕස්ට්‍රේලියානු පිලේ පුහුණුකරු ඩැරන් ලීමන් නොදැන සිටියේ ද යන්න පිළිබඳවය. නායක සහ උප නායක එකතුව සිදුකරන ලද මෙම කුමන්ත්‍රණය පුහුණුකරු නොදැන සිටීම ද පුදුමය දනවන්නකි. එහෙත් වෝනර් සහ ස්මිත් මේ සම්බන්ධව ප‍්‍රකාශයන් සිදුකිරීමත් සමඟ ලීමන් ද පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීම ද විශේෂත්වයකි.

ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් ©cricbuzz

ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පන්දුව පළුදු කළ බවට ඔප්පු වුන පළමු අවස්ථාව මෙය වුවත්, පන්දුව පළුදු කිරීම සම්බන්ධව මීට පෙර එක් වතාවක් චෝදනා එල්ල වී තිබේ. එම චෝදනාව ශ‍්‍රී ලංකාව විසින් සිදු කිරීම කැපී පෙනෙයි. 2012 වසරේ හෝබාර්ට්හි පැවති ටෙස්ට් තරගයේ දී වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල්ට එරෙහිව එවකට ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුව සිටි චරිත් සේනානායක තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඩ්ට පැමිණිලි කර තිබේ. එහෙත් එ් පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි නොමැති යැයි පවසමින් අදාළ චෝදනාවෙන් සිඩ්ල්වව නිදහස් කිරීමට තරග තීරකවරයා පියවර ගනු ලැබුව ද පැමිණිලිකාර සේනානායක පවසන්නේ ලබා දුන් වීඩියෝ පටයේ ඇති සාක්ෂි, සිඩ්ල් වරදකරු කිරීමට ප්‍රමාණවත් වූ බවයි. වැඩිදුරටත් කරුණු දක්වා සිටින කළමනාකරු, ඒ සම්බන්ධව තරග තීරකවරයා කටයුතු කරන ලද්දේ උදාසීනත්වයෙන් යුතුව බවයි.

අදහාගත නොහැකි පසුදෝලනයක් සමඟින් පන්දු යැවූ සිඩ්ල් ශ‍්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් ලකුණු 54කට දවා ගනිමින් ඕස්ට්‍රේලියාව ජය කණුව කරා රැගෙන ගිය අතර, ”සිඩ්ල් බෝලෙ සීම් එක (මැහුම් දාරය ආශ‍්‍රිත කොටස*) කඩන එක අපි දුන්නේ. ස්ක‍්‍රීන් එකෙත් එ්ක දැම්මා. එ් සාක්ෂියමයි අපි තරග තීරකවරයාට ලබා දුන්නේ. නමුත් ඔහු එ් වෙලාවේ සිඩ්ල්ට එරෙහිව මුකුත් කළේ නෑ. සාක්ෂි ප්‍රමාණවත් මදි කියලා අතහැර දැම්මා” යැයි සේනානායක මහතා ThePapare.com වෙබ් අඩවිය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

ඩේවිඩ් වෝනර් ද මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් හැඟීම්බරව ප්‍රකාශ කර සිටියේ ඔහු නැවත වතාවක් ඕස්ට්‍රේලියාන වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවයි ©AFP

කරුණු කාරණා එසේ පවතිද්දී අද වන විට ස්ටීවන් ස්මිත් යනු අතීතයට එක්වූ තවත් එක් නායකයෙක් බවට පත්ව තිබේ. එ් ඕස්ට්‍රේලියාවෙන් බිහිව විශ‍්‍රාම සුවයෙන් පසුවෙන සෙසු නායකයන් මෙන් නොව සිය නමට ඉදිරියෙන් මකා දැමිය නොහැකි කළු පැල්ලමක් එක් කර ගනිමිනි.

ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවක්ය යන්න පවසන්නේ අප නොවේ. එය ගහට පොත්ත මෙන් ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ එකට බැඳී පවතින්නකි. ජයග්‍රහණය කරනවා මෙන්ම පරාජයේ දී ද එය එක ලෙස දරා ගැනීමට හුරුවිය යුතුය. එ් සියල්ල එක සේ දරාගත හැක්කෙකු හැරෙන්නට නායකත්වය දැරිය නොහැකි බව මුල දී ම සඳහන් කළේ එබැවිනි. අද ඕස්ට්‍රේලියාව හොට බිම ඇණ ගෙන ඇත්තේ දිනන්නටම පමණක් හුරු කොට ඇති නුසුදුස්සන් නිසාය. මෙම තත්ත්වය වහා තේරුම් ගත යුතුය. එසේ නොවුණහොත් ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ය යන කියමන නමට පමණක් ලඝු වී එය මහත්හොරුන්ගේ ක්‍රීඩාවක් දක්වා පරිවර්තනය වීම වැඩි ඈතක නොවනු ඇත.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<