මලල ක්‍රීඩා මහා පුටුව කා හට ද?

145

පෙර වසරේ (2015) විගණන වාර්තා අනුමත වීමේ දී ඇති වූ ගැටලුකාරී තත්වයක් නිසාවෙන් මලල ක්‍රීඩා නිලවරණයට යම් යම් ආකාරයේ බලපෑම් එල්ල වුවත්, මේ වන විට විගණන වාර්තා අනුමත වී ඇති නිසාවෙන් නිලවරණය හෙට (30) පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

දේශපාලනය ඇඟිලි ගැසූ මලල ක්‍රීඩා නිලවරණය

මේ මස 30 වැනිදාට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ ‍මේ වන..

පසුගිය දිනවල දී නිලවරණය සඳහා විටින් විට දේශපාලන බලපෑම් එල්ල වූ බැවින් ඉතා උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබුණි. ක්‍රීඩා සංගම් 39ක් සහභාගී වන මෙම නිලවරණයේ ඡන්ද 59ක් කුමන හෝ අපේක්ෂකයෙකු විසින් ලබා ගතහොත් ඔහුට සභාපති ධූරය හිමි වේ.

මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා සහ එහි හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා සභාපති ධූරයට තරග වදින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වේ.

මලල ක්‍රීඩා සංගමය සඳහන් කරන්නේ මලල ක්‍රීඩා තීරකවරුන්, විනිසුරුවන් හෝ පුහුණුකරුවන් ලෙස පසුගිය වසරක කාලයක් තුළ කටයුතු කළ බව කියන තවත් අපේක්ෂකයින් කිහිප දෙනෙකුත් මෙවර නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි.

කෙසේ වෙනත් හෙට (30) පැවැත්වීමට නියමිත නිලවරණය සම්බන්ධයෙන් වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා පවසා සිටියේ ‍සෑම දෙනාගේම සහයෝගය මත මෙවරත් ජයග්‍රහණය තමා සතු කර ගැනීමට හැකිවේ යැයි සිතනා බවයි.

“මෙම නිලවරණය ශ්‍රී ලංකාවේ මිනිස්සුත් එක්ක පවත්වන ඡන්දයක්. ඉතිං ගොඩක් අයගේ සහයෝගය නොඅඩුව ලැබෙනවා මෙය ජයග්‍රහණය කරන්න. ඒ නිසා මම මෙවරත් අනිවාර්යෙන්ම ජය ගන්නවා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් සුගත් තිලකරත්න මහතා පවසා සිටියේ සභාපති ධූරය භාර ගැනීමෙන් පසු පසුගිය අවුරුදු 2ක කාලය තුළ විවිධ සැලසුම් ක්‍රියාත්මක කළත් විවිධ පාර්ශව විසින් ඒවා අඩපණ කළ බවයි.

“මෙවරත් සභාපති ධූරය ලබාගෙන පසුගිය අවුරුදු 2ක කාලයේ සැලසුම් කළ දේවල් ඉදිරියට කරගෙන යන්නත්, ඒ වගේම පුහුණුකරුවන් සඳහා විදේශීය පුහුණුව ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද නව තාක්ෂණික දැනුම අපේ පුහුණුකරුවන්ට ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්. ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැත්තෙන් ගත්තොත් ඔවුන්ටත් කෙටි කාලීන විදේශීය පුහුණුව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ 2018 ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් මේ වන විට ආරම්භ කළ පුහුණු සංචිත වැඩ පිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

මෙම නිලවරණය සම්බන්ධයෙන් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කියා සිටියේ ද මෙවර සභාපති ධූරය තමන්ට නිසැකවම හිමි වන බවයි.

“අනිවාර්යෙන්ම මෙවර නිලවරණය මම ජය ගන්නවා. ඒක ස්ථීරයි. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි විවිධ පාර්ශව විසින් විවිධ මඩ ප්‍රහාරයන් එල්ල කරමින් පහත් තත්වයට වැටිල‍ා තියෙනවා. එ්ත් මම ඒ විදියට පහත් තැනට වැටිලා නැහැ.”

වැඩිදුරටත් අදහස් දක්මින් පාලිත ප්‍රනාන්දු මහතා පවසා සිටියේ සභාපති ධූරය ලැබුණු පසු ක්‍රියාත්මක කරන සැලසුම දැනට සිය සිත තුළ පමණක් තිබෙන බවයි.

“සභාපතිකම ලැබුණාට පස්සේ ක්‍රියාත්මක කරන සැලසුම් හිතේ තියෙනවා. දැන්ම ඒවා ප්‍රසිද්ධ කරන්න නැහැ. ඒවා මම පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කරලා තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා”.

කෙසේ වෙතත් මලල ක්‍රීඩා සංගම‍යේ මහා පුටුව කා හට හිමි වේ දැයි තවමත් සිතා ගත නොහැකි මට්ටමක පවතින අතර ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා පරිපාලනයේ වත්මන් බල අරගලය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි පරිපාලන ආරවුල් හමුවේ ජාත්‍යන්තර තරග සහභාගීත්වයට ද බලපෑම් එල්ල වීමේ තත්වයක් උද්ගත වෙතැයි මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී තිබේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<