ජාතික පුහුණුකරු පිළිබඳව පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව එලියට

242

ප්‍රථම ආසියානු පිරිමි අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු වටයේ අවසන් තරගය වූ සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ලැබූ අනපේක්ෂිත පරාජය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මැතිතුමා විසින්  පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ (16) මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කළ සර්බියානු ජාතික ඩෙජාන් වුලිසිවික් මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා ලදි.

Video – විදේශීය වොලිබෝල් පුහුණුකරු සම්බන්ධ කමිටු වාර්තාව එළියට

එක් තරගාවලි පරාජයකින් පසුව ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රධාන පුහුණුකරු ගැන සිදුවූ …

ප්‍රථම ආසියානු පිරිමි අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා මැලේසියාව යන රටවල් පරාජය කිරීමට සමත්වූ අතර සෞදි අරාබිය සමඟ පැවති තරගයේ දී අනපේක්ෂිත ලෙස පරාජයට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලැබූ පරාජය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මැතිතුමා විසින් නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමත්විත කමිටුවක් පත් කරන ලදි.

පත් කරන ලද පංච පුද්ගල කමිටුව

  • නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා (සභාපති)
  • සුසිල් රණසිංහ මහතා
  • ඩී. සී. රත්නමුදලි මහතා
  • රංජිත් ප්‍රේමරත්න මහතා
  • ධනපාල ජයපද්ම මහතා

පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ වාර්තාවට අනූව සෞදි අරාබිය සමඟ පැවති තරගයේ ලැබූ අනපේක්ෂිත පරාජයට මූලිකම හේතුව ලෙස ප්‍රධාන පුහුණුකරු වන ඩෙජාන් වුලිසිවික් මහතාගේ ක්‍රියා කලාපය දක්වා ඇත. ඒ අනූව පරාජයට පත්වූ තරගයේ දී ප්‍රධාන පුහුණුකරු විසින්,

  • කණ්ඩායමේ අත්දැකීම් සහිත සහ මීට පෙර ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙම තරගය සඳහා යොදවා නොගැනීම.
  • ඒ පිළිබඳව කණ්ඩායමේ කළමනාකරු සහ පුහුණුකරුවන් සමඟ සාකච්ඡා නොකිරීම.
  • තමන්ගේ අභිමතය පරිදි ක්‍රීඩකයින් යෙදවීම සහ ආදේශ කිරීම.

යන කරුණු සිදු කළ බව නිගමනය විය. තවද එම තරගයේ දී සිදු කළ ක්‍රීඩක ආදේශය පිළිබඳව කරුණු දැක්වීමට ද පුහුණුකරු අසමත්ව ඇත. කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කළ යුතු අවස්ථාවක තනිව තීරණ ගැනීම සහ තමන්ගේ අභිමතය පරිදි ප්‍රධාන පුහුණුකරු ක්‍රියා කිරීම හේතුවෙන් සෞදි අරාබිය සමඟ පැවති තරගය පරාජයට පත්වූ බව එම වාර්තාවේ තව දුරටත් දක්වා ඇත. ඒ අනූව මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබූ ප්‍රධාන පුහුණුකරුගේ ධුර කාලය දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටුව තීරණය කර ඇත.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<