ශ්‍රී ලංකාව මැකාව් හමුවේ පළමු ජය වාර්තා කරයි

247
Asian U23 womens volleyball

වට 3-1ක් ලෙසින් මැකාව් කාන්තා වොලිබෝල් කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකාවන් සමත් විය. දෙවන වරටත් පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ අද (16) පැවැත්වූ තරග වලින් ශ්‍රී ලංකාව, චීන තායිපේ හා ඉරාන යන කණ්ඩායම් මේ වන විට ජයග්‍රහණ ලබාගෙන ඇත. තරගාවලිය තායිලන්තය නැකහොන් රැචසිමා හිදී පැවැත්වේ.

අවසානයේ ශ්‍රී ලංකාව එක වටයක් ජය ගනී; තරගය පරාදයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කාන්තා වොලිබෝල් කණ්ඩායම වට 3-1ක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ද අද (15) පරාජයට පත්විය…

මැකාව් කණ්ඩායම මූලික වටයේ සහභාගි වූ සියලුම තරග වට පරාජයට පත් වූ කණ්ඩායමකි. නමුත් ඔවුන් අද උදෑසන පැවැත්වූ මෙම තරගය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව හොඳ තරගයක් ලබා දෙමින්  පළමු වටය ලකුණු 23-25ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. එයින් නොසැලුණු මැකාව් කාන්තාවෝ දෙවන වටය තුල ලකුණු 26-24ක් ලෙසින් තියුණු ජයග්‍රහණයක් ලබා ගත්තේය. අනතුරුව පැවැත්වූ තෙවන හා සිව්වන වටවල දී ද පිළිවෙළින් ලකුණු 21-25ක් හා ලකුණු 24-26ක් ලෙස ලබාගෙන, මැකාව් කණ්ඩායම ප්‍රබල අභියෝගයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබා දුන්න ද, එය හැකි උපරිමයෙන් කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් ලලනාවන්ට හැකි විය.

අවසානයේ වට 3-1 (23-25, 26-24, 21-25, 24-26) ක තියුණු ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමි විය.

තිලිණි පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරගය තුල ලකුණු 13ක් රැස්කර ගන්නා විට, ප්‍රතිවාදී මැකාව් කණ්ඩායම වෙනුවෙන් ලොව් වෙන් සෑම් ලකුණු 21ක් තම කණ්ඩායමට එකතු කරන ලදි.

මැකාව් කණ්ඩායම මෙම තරගය තුල ඉතාමත් දක්ෂ ලෙස පිරිනැමීම් සිදු කරන ලදි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටිය ආරක්ෂා කිරීම ඉහළ මට්ටමක පැවතීම නිසාවෙන්, තියුණු තරගයක් ලබා දී ජයග්‍රහණය තමන් සතුකර ගන්නට සමත් විය.

තරගයට පසුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ඉන්ද්‍රජිත් මහතා මෙසේ අදහස් දැක්විය.

“අද මට කියා ගන්න බැරි තරම් සතුටු දවසක්, මම මේ තරගය ජයග්‍රහණය කිරීම පිළිබඳව සතුටට පත්වන අතර, එම සතුට දෙගුණ තෙගුණ වීමට හේතුව නම්, මෙම ජයග්‍රහණය ලබා ගත් අද දිනය තුල මාගේ උපන්දිනය ද යෙදී තිබීමයි. පළමු වටය තුල අපට සාර්ථක වීමට නොහැකි වුවත්, අද තරගය අපේ කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කලා, අප මෙම තරගාවලියට පෙර පුහුණුවීම් කළේ මාස 3ක පමණ කාලයක් පමණයි. අප ඉතිරි තරග කිහිපයත් හොඳින් ක්‍රීඩා කරලා හැකි උපරිම ස්ථානය ලබා ගැනීමට වෙහෙස මහන්සි වෙනවා” යැයි ඉන්ද්‍රජිත් මහතා තම සතුට ප්‍රකාශ කළේය.

අද (16) අවසන් වූ අනෙක් තරග වල ප්‍රතිඵල,

  • මැකව් 1-3 ශ්‍රී ලංකාව (23-25, 26-24, 21-25, 24-26)
  • චීන තායිපේ 3-0  හොංකොං (25-16, 25-13, 25-12
  • වියට්නාමය 3-0 ඉරානය (25-19, 25-17, 25-19)
  • තායිලන්තය 3-1  කසකස්තානය (24-26, 25-21, 25-10, 25-10)
  • ජපානය 3-0 මැලේසියාව (25-14, 25-14, 25-06)

හෙට (17) පැවැත්වෙන දෙවන වටයේ තරග,

  • උස්බෙකිස්තානය හා නවසීලන්තය
  • හොංකොං හා කසකස්තානය
  • තායිලන්තය හා චීන තායිපේ
  • වියට්නාමය හා මැලේසියාව
  • ජපානය හා ඉරානය

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට