ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මැලේසියාවට

678

ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම ඊයේ රාත්‍රියේ මැලේසියාව බලා පිටත්ව ගියේය. පසුගිය තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරයින් වූ මැලේසියාවට මෙවරද පළමු කාණ්ඩයේ තරග පැවැත්වීමේ සත්කාරකත්වය හිමිව ඇත.

ආසියානු කුසලානයට නවක ක්‍රීඩකයින් 08ක්

ආසියානු රග්බි කුසලානයේ පළමු කාණ්ඩයේ තරගාවලිය මැයි මස 14 වන දින සිට 20 වන දින දක්වා මැලේසියාවේ ඉපෝ නුවර දී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා මයිකල් ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු තේරීම් කමිටුව…

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නවක ක්‍රීඩකයන්ගෙන් මෙන්ම අත්දැකීම් වලින් පරිණත ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත වන අතර කණ්ඩායම් නායක රොෂාන් වීරරත්න තරගාවලිය ජය ගැනීම පිළිබඳ දැඩි බලාපොරොත්තුවකින් පසුවේ. කෙසේ වුවත් ඔහු සමඟ මහනුවර කණ්ඩායමේ ක්‍රීඩා කරන ලවංග පෙරේරා වෙනුවට මෙවර ක්‍රීඩා කරන්නේ CR&FC කණ්ඩායමේ ‘wing’ ක්‍රීඩක සශාන් මොහොමඩ් ය.

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් වල 41 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනයට (57)  එදිරිව මේ ඉරිදා තරග බිමට පිවිසීමට නියමිත අතර ගියවර තරගාවලියේ දෙවන කාණ්ඩයේ ශූරතාවය දිනා ගනිමින් මෙවර පළමු කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම (72) සමඟ බදාදා තරග වැදීමට නියමිතව ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය සත්කාරක මැලේසියානු කණ්ඩායම සමඟ සෙනසුරාදා පැවැත්වෙනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා ඉතා හොඳ සූදානමකින් පසුවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම තුළ දේශීය නොවන  ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම ක්‍රීඩා කරන නමුත් ගියවර තරගාවලියේ ඔවුන්ගේ විශිෂ්ටතම ක්‍රීඩකයා වූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත මොහොමඩ් රියාල් මෙවර සංචිතයට ඇතුළත් නොකර තිබීම පුදුමයට කරුණකි.

පිලිපීන විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධ නව කෝටා ක්‍රමය හේතුවෙන් පිලිපීන කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් ජපානයේ ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගතවී ඇත. තරගාවලිය සඳහා සහභාගී වන පිලිපීන සංචිතයට ඉතා දක්ෂ, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන ඔලිවර් සෝන්ඩර්ස් සහ ජපානයේ ‘Tokyo Gas’ කණ්ඩායම නියෝජනය කරන පැට්‍රිස් ඔලිවර්ස් ඇතුළත් කර ඇත.

අනෙක් පසින් තරගාවලියට සහභාගී වන මැලේසියානු සංචිතයට ෆීජි ක්‍රීඩකයින් 7 දෙනෙක් සහ 1 සාමෝවා ක්‍රීඩකයෙක් ඇතුළත් කර ඇති අතර ඔවුන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී තරගාවලිය සඳහා පුහුණුවීම් කටයුතු සිදුකර ඇත. පැහැදිලිවම ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ 2019 දී ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමයි.

කෙසේ වුවත් සෑම කණ්ඩායමකටම තරගාවලිය විවෘතව ඇති අතර තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට එළඹෙන වසරේ දී හොං කොං හා දකුණු කොරියානු කණ්ඩායම් සමඟ තම රටේ දී සහ තම රටින් පිටත දී තරග දෙකකට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. එම තරග දෙක ජයග්‍රහණය කිරීමට සමත් වන කණ්ඩායම මීළඟ තරගාවලිය සඳහා සුදුසුකම් ලබයි. එහි දී ද ජයග්‍රහණය දිනා ගැනීමට සමත් වුවහොත් එම කණ්ඩායමට 2019 රග්බි ලෝක ශූරතා තරගාවලියේ නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා ඉතාලිය සමඟ ‘C’ කාණ්ඩයේ තම ස්ථානය වෙන්කර ගැනීමේ වරම් හිමි වේ.

හොං කොං හා දකුණු කොරියානු කණ්ඩායම් තවමත් ජපාන කණ්ඩායම හමුවේ ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට අපොහොසත් වී ඇති අතර මෙම කාර්යය සාර්ථක කර ගැනීමට සමත් වීම ඕනෑම ආසියානු කණ්ඩායමකට ඉතා අපහසු මෙන්ම වැදගත් ජයග්‍රහණයක් වනු ඇත.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඇති පළමු අභියෝගය වන්නේ ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමයි. පළමු කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් තුන සමඟ සංසන්දනය කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම අතින් මෙන්ම විදේශීය රටවල ක්‍රීඩා කර ඇති අත්දැකීම් වලින්ද පසුපසින් සිටින නිසා කණ්ඩායමේ ක්‍රීඩකයන් මත තරමක පීඩනයක් එල්ල වී ඇත. ශූරතාවය දිනාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට තම උපරිම දක්ෂතා උපයෝගී කරමින් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

සංචිතය සඳහා අවසාන මොහොතේ නම් කළ සශාන් මොහොමඩ් ඇතුළුව ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නවක ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කරන අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ෆසීල් මරීජාගේ අවසාන ජාත්‍යන්තර තරගාවලිය ද වනු ඇත.

පසුගිය වසරේ පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව ලකුණු 33–17ක් ලෙසත්, පිලිපීන කණ්ඩායම ලකුණු 25-21ක් ලෙසත් පරාජය කිරීමට සමත් වූ නමුත් මැලේසියාව සමඟ තරගය ලකුණු 42-17 ක් ලෙස පරාජයට පත්විය.

පැපුවා නිව් ගිනීයා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ලෙස කටයුතු කරන ෆෙරටි වර්බුලා හට මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වගකීම පැවරී ඇත. 

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට