ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවන ජයත් වාර්තා කරති

1417
Sri Lanka vs UAE

මැලේසියාවේ දී පැවැත්වෙන ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (17) පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි. එහි දී දැඩි අව් රශ්මිය මධ්‍යයේ ලකුණු 33-17ක් ලෙස ජය ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව හමුවේ පිලිපීනය අසරණ වෙයි

ආසියානු රග්බි ශූරතා තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග මැලේසියාවේ ඉපෝ නුවර දී අද (14) ආරම්භ වූ අතර..

තරගය ආරම්භ වී මිනිත්තුවක් පමණ ගතවෙත්ම ශ්‍රී ලංකා පසුපෙළ රේඛාවේ ක්‍රීඩකයින් හොඳින් පන්දුව හුවමාරු කර ගත් අතර ෆාසිල් මරීජා විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ වැඩි අපහසුවකින් තොරවයි. කෙසේ නමුත් තිළිණ විජේසිංහ, ප්‍රවර්තනයේ දී අසාර්ථක වූයේ පිටියේ සුළං තත්වය ඉතාමත් දැඩිව පැවතීම හේතුවෙනුයි. පසුව එමීර් ක්‍රීඩකයන් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. (ශ්‍රී ලංකාව 05-03 එ.අ.එ).

පළමු ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් මීටර 45ක පමණ ඈතක සිට එල්ල කළ දඬුවම් පහරක් සාර්ථක කරගන්නට තිලිණ සමත් විය. (ශ්‍රී ලංකාව 08-03 එ.අ.එ.).

තරගය ආරම්භයේ සිටම හොඳින් මුහුණට මුහුණලා ගැටී ක්‍රීඩා කරන අයුරක් කණ්ඩායම් දෙකෙන්ම දිස්විය. පළමු අර්ධයේ මැදභාගයේ දී ලද ස්ක්‍රම් අවස්ථාවකින් සාර්ථකව පන්දුව ලබා ගත් එමීර් ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගන්නට ස්ටීවන්සන් සමත් විය. (ශ්‍රී ලංකාව 08-10 එ.අ.එ.).

තරගයේ අලංකාරවත්ම උත්සාහක දිනුම වාර්තා වූයේ ඉන් අනතුරුවයි. ධනුෂ්ක රන්ජන්, තමන්ට ලැබුණු පන්දුව සමඟ නිසි කල්මැන ධාවනය කළ අතර පිටියේ වම් අන්තයේ රේඛාව ආසන්නයෙන්ම ප්‍රවේශමින් දිවගොස් ධවල රේඛාව තරණය කළේ ගුවනේ පාවෙමිනි. කණ්ඩායම වෙනුවෙන් එය සිදු කිරීමේ දී ඔහු ආබාධයකට ලක්වූ අතර එතැන් සිට ඔහු තරගයෙන් ඉවත් විය. දක්ෂ අයුරින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේ තිලිණ විජේසිංහ යි. (ශ්‍රී ලංකාව 15-10 එ.අ.එ.).

පසුව ලද එක් දඬුවම් පහරක් අසාර්ථක වුවත් මීළඟ දඬුවම් පහර සාර්ථක කරගනිමින් කණ්ඩායමට ලකුණු 3ක් එක්කිරීමට තිලිණ සමත් විය. ඒ අවස්ථා දෙකෙහි දී ම එමීර් ක්‍රීඩකයන් දෙදෙනෙකු පිටියෙන් ඉවත් කෙරුණේ කහ කාඩ්පත් සමඟිනුයි. පසුව එමීර් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර 3ක්ම අසාර්ථකව අවසන් වූයේ ස්ටීවන්සන් හට සුළං අත හඳුනා ගත නොහැකි වූ බැවිනි.

එහෙත් පළමු අර්ධයේ අවසන් මිනිත්තුව තුළ දී උත්සාහක දිනුමක් වාර්තා කරමින් පරතරය අවම මට්ටමට ගෙනෙන්නට එමීර් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 18 (2T 1C 2P) – 17 (2T 2C 1P) එක්සත් අරාබි එමීර් රාජ්‍යය

දෙවන අර්ධය ඇරඹී මඳ වෙලාවක් ගතවෙද්දී විශිෂ්ට අයුරින් ප්‍රතිවාදී පසුපෙළ අසංවිධානාත්මක කළ රිචඩ් ධර්මපාල, ෆාසිල් මරීජාට උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ අවස්ථාව නිර්මාණය කළේය. උත්සාහක දිනුම් රේඛාව පසුකිරීමෙන් අනතුරුව මරීජා විසින් ලී කීගල් හට පන්දුව භාර කළ පසු උත්සාහක දිනුම වාර්තා කළේ ඔහුයි. තිලිණ, ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (ශ්‍රී ලංකාව 25-17 එ.අ.එ.).

පළමු අර්ධයට වඩා කාය ශක්තිය යොදා ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පහත හෙලන්නට යාමෙන් ප්‍රතිවාදීන්ට අවාසි කිහිපයක්ම සිදු විය. ඉන් එකක් නම් හුකර් ක්‍රීඩක ජේ. අයිව්ස් හට රතු කාඩ්පතක් හිමිවීමයි. අනෙක, දෙවන අර්ධයේ අගභාගයේ දී ඔවුන්ගේ ධාවන ශක්තිය හීන වීමයි.

ඒ අවසරයෙන් ශ්‍රී ලාංකිකයන් එකිනෙකා අතර හොඳින් පන්දුව හුවමාරු කරගත් බැවින් ජේසන් දිසානායක හට උත්සාහක දිනුමක් වාර්තා කිරීමේ ඉඩ විවර විය. එහි ප්‍රවර්තනය අසාර්ථක වූ නමුත් පසුව ලද දඬුවම් පහරක් සාර්ථක කරගන්නට තිලිණ සමත් විය.

ඒත් සමඟින් ප්‍රසාද ලකුණක් සහිතව තම කාණ්ඩයේ ඉහළ නැගීමට ශ්‍රී ලංකාව සමත් විය.

සම්පූර්ණ කාලය: ශ්‍රී ලංකාව 33 (4T 2C 3P) – 17 (2T 2C 1P) එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • ශ්‍රී ලංකාව – ෆසිල් මරීජා 1T, ධනුෂ්ක රන්ජන් 1T, ලී කීගල් 1T, ජේසන් දිසානායක 1T, තිලිණ විජේසිංහ 2C 3P.
  • එ.අ.එ. –  ග්ලෙන් මෝ 1T, ඇන්ඩි පවල් 1T, ස්ටීවන්සන් 2C 1P.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට