ප්‍රබල සවුදියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්

357
sri lanka vs uae

1 වැනි වරට සංවිධානය කරනු ලබන ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන මූලික වටයේ තරගයෙන් වට 3-2ක් ලෙසින් පරාජයට පත්විය. ඒ මෙම තරගාවලියට සහභාගී වන හොඳම කණ්ඩායම යැයි සැලකිය හැකි සවුදි අරාබියට එරෙහිවයි. තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය.

සුළු ආබාධ තත්වයන් හේතුවෙන් දීප්ති රොමේෂ්, ලසිඳු මෙත්මාල් සහ වසන්ත ලක්මාල් යන ප්‍රධාන ක්‍රීඩකයන් තිදෙනාම මෙම තරගයට සහභාගී නොවීය.

>> සාර්ථක ආරම්භයක් කඳුලෙන් පුරවමින් සවුදිය ශ්‍රී ලංකාව හඬවයි

පළමුවැනි වටයේ දී දෙපිලම හොඳින් ක්‍රීඩා කළ අතර 10-10ක් ලෙසින් සම ලකුණු පැවති අවස්ථාවේ දී ශ්‍රී ලංකාව විසින් පිට පිට ලකුණු 4ක් ලබා ගැනීමත් සමඟින් තරගයේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි විය. එම වාසිය පළමුවැනි වටය පුරාවටම පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව පළමුවැනි වටය 25-22ක් ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

දෙවැනි වටයේ වරෙක 17-14ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටිය ද, එම අවස්ථාවේ දී සවුදි කණ්ඩායම විසින් ලබා ගත් කෙටි විවේකය මෙම තරගයේ හැරවුම් ලක්ෂ්‍යය විය. එම කෙටි විවේකයෙන් අනතුරුව ශ්‍රී ලංකාව පසුපසට ඇද දැමූ සවුදි ක්‍රීඩකයන් 22-25ක් ලෙසින් දෙවැනි වටය ජයග්‍රහණය කරන ලදි.

නැවතත් තෙවැනි වටයේ පළමු තාක්ෂණික කෙටි විවේකයේ දී 8-6ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වූවද දෙවැනි තාක්ෂණික කෙටි විවේකයට පැමිණෙන විට 13-16ක් ලෙසින් පෙරමුණ ගෙන සිටියේ සවුදි කණ්ඩායමයි. ඒ අනුව තෙවැනි වටය 19-25ක් වශයෙන් ජය ගනිමින් තරගයේ වැඩි වාසි (වට 1-2ක් ලෙසින්) තමන් සතුකර ගන්නට සවුදි අරාබියට හැකි විය.

සිව්වැනි වටයේ දී මුල සිටම සවුදි ක්‍රීඩකයන් වඩාත් හොඳ කණ්ඩායම බවට පත්විය. ඔවුන් එම වටයේ මුල සිට වටය අවසන් වන තෙක්ම ඉදිරියෙන් සිටින ලදි. එහි ප්‍රතිඵලය වූයේ සිව්වැනි වටය 20-25ක් ලෙසින් ද තරග 1-3ක් ලෙසින් ද ජය ගැනීමට සවුදි කණ්ඩායමට හැකි වීමයි.

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුහුණුකරු, සර්බියා ජාතික ඩෙජාන් වුලිසෙවිච් මහතා මෙසේ අදහස් දැක්විය.

“දෙවැනි වටයේ දී අපිට අවස්ථා කිහිපයක් ලැබුනත් අපි එම අවස්ථා ප්‍රයෝජනයට ගත්තේ නෑ. අපිට පන්දුව නිවැරදිව ලබාගන්න බැරි වුනා (Recieve). අපේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ආබාධ නිසා විවේක ගන්වන්න සිදු වුනා. ඔවුන්ව මෙම තරගයට ක්‍රීඩා කරවලා අවදානමක් ගන්න බෑ. මොකද තව දවස් දෙකකින් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරගය (අවසන් පූර්ව තරගය) පැවැත්වෙන බැවින්.

අපිට අද හොඳින් වලක්වාලීම් (Blocks) කරන්න බැරි වුනා. අපි හොඳින් පන්දුව පිරිනැමුවත් (Serve) එහි වාසිය උපරිමයෙන් ලබා ගැනීම සඳහා හොඳින් වලක්වාලීම් කරන්න අපිට බැරි වුනා.”

ඊට අමතරව තරගාවලියේ ඉදිරිය පිළිබඳවත් වුලිසෙවිච් මහතා මෙසේ සිය අදහස් දැක්විය.

“මීළඟට අපිට තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරගයයි. ඒක අර්ධ අවසන් පූර්ව තරගය. දැන් අපි හිතන්නේ ඒ තරගය ගැන විතරයි. අද තරගයේ දී අපි කරපු වැරදි නිවැරදි කරගෙන ඒ තරගයට මුහුණ දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ ප්‍රධාන ඉලක්කය මෙම තරගාවලියේ අවසාන මහා තරගය දක්වා ගිහින් ලබන වසරේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමයි”

තරගය පුරාම ශ්‍රී ලංකාවේ වලක්වාලීම් (Blocks) ඉතා දුර්වල මට්ටමේ පැවති අතර සවුදි කණ්ඩායමේ වලක්වාලීම් ඉතා ඉහළ මට්ටමක පැවතුනි. සවුදි ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ වලක්වාලීම් අතරින් පහරවල් එල්ල කිරීමට සමත් විය. දීප්ති, ලසිඳු සහ වසන්ත ක්‍රීඩා නොකිරීම මේ සඳහා බලපෑ ප්‍රධානම කරුණ ලෙසින් සැලකිය හැක.

පන්දුව හොඳින් පිරිනමන විට එහි උපරිම වාසිය ලබා ගැනීමට නම් සාර්ථක වලක්වාලීම් කළ යුතු වේ. තරගයේ වැදගත්ම කාරණයක් වන පිරිනමන විට ලකුණු ලබා ගැනීම (Points won on serve) කළ හැකි වන්නේ එවිටයි. පිරිනැමීමෙහි දුර්වලතා නොතිබුණත් වළක්වාලීමේ දුර්වලතා නිසා පන්දුව පිරිනමන විට එම අවස්ථාවල දී බොහෝ ලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම තරගයේ පරාජයට බලපෑ ප්‍රධානම කාරණය විය.

වුලිසෙවිච් මහතාගේ එම අදහස් දැක්වීමෙන් පැහැදිලි වන ප්‍රධානම කාරණය නම් මෙම තරගාවලියේ දී තමන් යා යුතු දුර සහ තමන්ගේ ඉලක්කය පිළිබඳ ශ්‍රී ලංකාවට පැහැදිලි අවබෝධයක් තිබෙන බවත් ඔවුන් ඒ වෙනුවෙන් සියලුම දේ සිදුකරන බවත්ය.

>> එකම හොඳ දෙය අපි තරගය ජයග්‍රහණය කිරීමයි – වොලිබෝල් පුහුණුකරු

ශ්‍රී ලංකාව සිය ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක් නොමැතිව ක්‍රීඩා කළ ද සවුදි දේශයට එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට හැකි විය. අද සවස 3.50ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව කිසිසේත්ම අවතක්සේරු නොකරනු ඇතැයි ද, අවසන් පූර්ව වටයේ තරගය පිළිබඳ නොසිතා අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යාම පිළිබඳ ඔවුන් කල්පනා කරනු ඇතැයි ක්‍රීඩාලෝලීයෝ බලාපොරොත්තු වෙති.

මූලික වටයේ දී A කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු 6ක් ලැබූ ශ්‍රී ලංකාව A කාණ්ඩයේ දෙවැනි ස්ථානයටත්, ප්‍රසාද ලකුණු 9ක් ලැබූ සවුදි අරාබිය A කාණ්ඩයේ පළමුවැනි ස්ථානයටත් පත්විය.

අද දිනය පුරා අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර එම සියලුම තරගවල සජීව විකාශය ThePapare.com වෙතින් ක්‍රීඩාලෝලීන් වෙත ගෙන එනු ඇත. අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන්නේ පහත පරිදිය.

  • සවුදි අරාබිය සහ මොන්ගෝලියාව
  • ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • මැලේසියාව සහ ඉරාකය
  • හොංකොං දේශය සහ බංග්ලාදේශය

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<