ආසියාව ජය ගත් දූදරුවන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් මාසික දීමනාවක්

233

ජපානයේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් 9ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලි ඉතිහාසයේ පළමු වතාවට 5 වැනි ස්ථානයට පිවිසි අතර එහි දී පදක්කම් දිනා ගත් හා එම තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතිහාසයේ පළමු වතාවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මූල්‍යමය ත්‍යාග ප්‍රදානෝත්සවයක් අද (18) සංවිධානය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ය.

සහය දිවීමේ කණ්ඩායම් ආසියාව හොල්ලයි; සමස්ත පදක්කම් ගණන 9ක්

පසුගිය 7 වැනිදා ජපානයේ ගිෆූ හිදී ආරම්භ වූ කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් දිනය අද (10) වන…

ජුනි මස 8, 9 සහ 10 යන තෙදින පුරාවට පැවති එම මලල ක්‍රීඩා තරගාවලියේ කුමන හෝ පදක්කමක් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් ද, සහභාගී වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහභාගී වීම වෙනුවෙන් රුපියල් 75,000ක මුදලක් ද අද  ප්‍රදානය කරන ලදි. මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 13ක්.

“මෙවන් ආකාරයක ඇගයීමක් ලැබුණු පළමු අවස්ථාව මෙයයි. මෙය අපගේ අනාගත ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවදුරටත් ඉදිරියට යන්න රුකුලක්. අපිට අනාගතයේ දී මෙතන ඉන්න ක්‍රීඩකයින්ගෙන් ඔලිම්පික් පදක්කම් කිහිපයක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්.” යැයි මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ අකුරම්ගොඩ වීරකැප්පටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ මලල ක්‍රීඩා පුහුණුකරු වන ඩබ්. රාජකරුණා මහතා පැවසීය.

රාජකරුණා මහතාගේ ගෝලය වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අරුණ දර්ශන මීටර 400 බාලක ඉසව්වේ නව ආසියානු කනිෂ්ඨ වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මීට අමතරව මීටර 400 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද අරුණ ඇතුළු ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකා යෞවනයෝ ආසියාවේ දැවැන්තයින් හමුවේ රන් රිදී දිනති

ජපානයේ ගීෆූ නුවර දී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ අද (08) දිනයේ…

මේ ඇගයීම් උත්සවයට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා උපදේශකවරයෙකු වන සුනිල් ජයවීර මහතා පැමිණ සිටි පිරිස හමුවේ මෙසේ සිය අදහස් දක්වන ලදි.

“පසුගිය වසර කිහිපය තුළ අපේ පාසල් මලල ක්‍රීඩාවේ හා දේශීය මලල ක්‍රීඩාවේ යම් පසුබැස්මක් තිබුණා. නමුත් අපි දැක්කා අරුණ පුතා, ඩිලිෂි දුව, පාරමී දුව, අමාෂා දුව ඇතුළු මේ දූදරුවන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා ශ්‍රී ලංකා නාමය ඉතාමත් ඉහළ මට්ටමකින් තැබුවා. ඒකට අපේ විතරක් නෙමේ සමස්ත රටේම ගෞරවය ලැබෙන්න ඕන. මම මේ ළමයින්ගේ අනාගතය සාර්ථක වේවා කියලා සුබ පතනවා.”

මෙවන් ආකාරයක ඉහළ දස්කම් දැක්වීමට එම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහෙයවන ලද, ඔවුන්ගේ පාසල්වල පුහුණුකරුවන්, එම පාසල්වල විදුහල්පතිවරුන් ඇගයීම වෙනුවෙන් සහතික පත්‍රයක් ප්‍රදානය කිරීමක් ද මේ උත්සවය අතරතුර දී සිදු විය.

“මේ ජයග්‍රහණය ලබා ගැනීමෙන් අපට පෙනෙන්නේ ඔබේ බාහිර ජයග්‍රහණය පමණයි. නමුත් එම ජයග්‍රහණය ලබා ගැනීමට ඔබ කළ කැප කිරීම්, අත්වූ පරාජයන්, විවිධ කම්කටොළු දන්නේ ඔබ ඇතුළුව ඔබේ පුහුණුකරුවන්, දෙමව්පියන් පමණි. ඉතින් ඒ කරපු දේවල්වලට මෙවැනි ආකාරයක හෝ ඇගයීමක් අපේ පැත්තෙන් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. වෙන රටවල්වල නම් මීට වඩා දේවල් කරනවා. අපි ඔබ සියලු දෙනාට ඉදිරියේ මාසයේ ඉඳන් හැම මාසෙකම  වසර දෙකක් වෙනකන් රුපියල් දෙදාහක පරිත්‍යාගයක් කරනවා. ඒක ඔබ සියලු දෙනාට ලොකු සවියක් වේවි.” ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සිය අදහස් පැවසුවේ එසේය.

දුවන සපත්තුවෙන් අස්වනු නෙලන්නට පෙර

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා අතලොස්ස අභිබවමින් වර්තමානය වන විට මලල ක්‍රීඩාව ගැන වැඩි වැඩියෙන් කතාබහට…

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ඇගයීම් උත්සවය සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙක්, ඇගයීමට ලක්වූ ක්‍රීඩක – ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්, ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි‍ය හ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<