එක් දිනක් තුළ පදක්කම් තුනක්; ශ්‍රී ලංකා නාමය තවත් ඉහළට

292

2017 ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ (AIMAG) අද (20) පැවැත්වූ තරගවලින්, ගයන්තිකා අබේරත්න, මංජුල කුමාර හා ඉඳුනිල් හේරත් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගන්නට සමත් විය. මෙම තරගාවලිය තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් නුවර දී පැවැත්වේ.

අමිලගෙන් රිදී පදක්කමක්; ඉඳුනිල්ගෙන් රන් බලාපොරොත්තුවක්

6 වන ආසියානු ගෘහස්ථ හා සටන් කලා තරගාවලියේ (AIMAG) අද (19) පැවැත්වූ තරගවලට විදූශා ලක්ෂානි, හිමාශ ඒශාන්, ඉඳුනිල් හේරත් සහ අමිල ජයසිරි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි…

අද දිනය තුළ දී ගයන්තිකා අබේරත්න, මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඒ කාන්තා මීටර 800 ඉසව්ව මිනිත්තු 02:05.12 කාලයක් තුළ අවසන් කරමිනි. එහි රිදී පදක්කම චීන ජාතික ගුපිං සැං විසින් ජයග්‍රහණය කරන විට, එහි තෙවන ස්ථානය සඳහා වන ලෝකඩ පදක්කම දිනා ගැනීමට අරීනා ක්ලේෂ්චුකායෝ සමත් වුවාය. ඇය කිර්ගිස්ථාන ක්‍රීඩිකාවකි.

මෙම තරගාවලිය තුළ දී දෙවරක්ම  ශ්‍රී ලංකා වාර්තා අලුතින් ලියවූ අද්විතීය ක්‍රීඩක ඉඳුනිල් හේරත්, පිරිමි මීටර 800 අවසන් මහා තරගය සඳහා අද සහභාගි විය. එහි දී ඉඳුනිල් හට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කටාර් ක්‍රීඩක ජමාල් හයිරානේ මිනිත්තු 1:49.33ක දක්ෂතාවයක් සටහන් කරමින් ප්‍රථමයා බවට පත්වූයේ, ඉඳුනිල්ට දෙවන තැන උරුමකර දෙමිනි. එහි දී ඉඳුනිල් විසින් මිනිත්තු 1:49.45ක දක්ෂතාවයක් දැක්විය. නමුත් ඔහු මෙම තරග ඉසව්වේ පළමු මීටර 400 අවසන් වන විට, පෙරමුණේ පසුවුවත් අවසන් මීටර 400 තුළ දී කටාර් ක්‍රීඩකයා තම උපරිම ජවය තම දෙපා මතට ලබා දුන්නේ, එහි රන් පදක්කම හිමිකර ගනිමිනි. එම තරගකාරී ඉසව්වේ ලෝකඩ පදක්කම මිනිත්තු 1:49.51ක දක්ෂතාවයක් පෙන්නුම් කළ ඉරාන ක්‍රීඩක අමීර් මොරාදී විසින් දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද දිනය තුළ ලබාගත් තෙවන හා අවසන් පදක්කම ලෙස ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළේ, උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාරයි. ඔහු මේ සඳහා මීටර 2.21ක දක්ෂතාවයක් දක්වන ලදි.  මෙහි දී මංජුල තම උත්සාහය ආරම්භ කළේ, මීටර 2.10ක උසක් තරණය කරමිනි. ඔහු පිළිවෙළින් මීටර 2.10, මීටර 2.14, මීටර 2.18 හා මීටර 2.21 යන උස ප්‍රමාණයන් සාර්ථකව තරණය කළ ද, ඔහු අවසන් වරට තරණය කළ මීටර 2.24ක උස තරණය කිරීමට ඔහු අපොහොසත් වීම නිසා එහි රන් පදක්කම මීටර 2.26ක දක්ෂතාවයක් දැක්වූ මජිඩ් එඩ්ඩින් හට ලැබුණි. ඔහු සිරියාව නියෝජනය කරමින් සහභාගි විය. එය නව තරගාවලි වාර්තාවකි.

මංජුල එහිදී දැක්වූ දක්ෂතාවයන්

ශ්‍රී ලංකා දැනට මෙම තරගාවලියේ පදක්කම් ලේඛනය තුල 18 වන ස්ථානය හිමි කර ගෙන ඇති අතර, ඒ සඳහා එක් රන් පදක්කමක්, රිදී පදක්කම් ද්විත්වයක් හා එක් ලෝකඩ පදක්කමක් ඒ අතර ඇත. අද මෙම තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් අවසන් වුවත්, මෙම තරගාවලිය ලබන 27 වන දා දක්වා පැවැත්වේ.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට