හිමාෂට සහ නිමාලිට පදක්කම්

322
Himasha and Nimali

චීනයේ ජියැන්ග් සිං නුවර පැවැත්වෙන ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන වටයේ තරගවලින් රිදී හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (27) සමත් විය. මෙම තරගාවලියේ පළමු වටයේ තරගවලින් පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුවත් දෙවන වටයේ දී පදක්කම් දෙකකින් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදුවිය.

ශ්‍රී ලංකාව, රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනයි

චීනයේ ජියැන්හුවා හිදී පැවති ආසියානු ගෝන් ප්‍රී තරගාවලියේ පළමු අදියර නිමාව දකින විට රන් පදක්කමක්..

ශ්‍රී ලංකා කණ්ඩායමේ කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒශාන් මීටර 100 ධාවන ඉසව්වට සහභාගී වෙමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ තියුණු තරගයකින් අනතුරුව තරගය තත්පර 10.47 කින් නිමා කරමිනි. මෙම තරග ඉසව්වේ පළමු වටයේ දී ද රිදී පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය. පළමු වටයේ රන් පදක්කම දිනා ගත් චීනයේ හොං මී මෙම වටයේ දී ද රන් පදක්කම දිනා ගත්තේ තරගය තත්පර 10.40කින් නිමා කරමිනි.

ශ්‍රී ලංකාවට තරගාවලියේ දෙවන වටයේ අනෙක් පදක්කම හිමිවූයේ මීටර 800 ධාවන ඉසව්වෙනි. මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාවන් දෙපළ සහභාගී විය. මෙම ඉසව්ව සඳහා ජාතික වාර්තාවට හිමිකම් කියන ගයන්තිකා තරගාවලියේ පළමු වටයේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ නමුත් ඇයට දෙවන වටයේ දී දිනා ගැනීමට හැකිවූයේ පස්වන ස්ථානය යි. පළමු වටයේ දී තරමක් පසුගාමී ක්‍රීඩා විලාසයකින් අනතුරුව පස්වන ස්ථානය දිනා ගත් නිමාලි දෙවන වටයේ දී තරගය මිනිත්තු 2:07.51කින් නිමා කරමින් ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට සමත් විය. චීනයේ චුන් යූ වැන්ග් දෙවන වටයේ දී තරගය මිනිත්තු 2:05.86කින් නිමා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඉන්දියාවේ ටින්ටු ලූකා මිනිත්තු 2:06.32 කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගන්නා ලදි.

පළමු වටයේ දී පිරිමි මීටර 800 ධාවන ඉසව්වේ දී රන් පදක්කමට හිමිකම් කියූ ශ්‍රී ලංකාවේ ඉඳුනිල් හේරත්ට දෙවන වටයේ දී හතර වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. ඔහු තරඟය නිමා කිරීමට මිනිත්තු 1:50.99ක කාලයක් වැය කරන ලදි. මෙම ඉසව්වේ දෙවන වටයේ දී රන් පදක්කම දිනා ගත් කුවේට් රාජ්‍යයේ ඊබ්‍රහිම් අල්සොෆාරි තරගය මිනිත්තු 1:50.06කින් නිමා කිරීමට සමත් වූ අතර චීනයේ ඩෂන් සෑන්ග් සහ ජපානයේ ටායිචි ඉචිනෝ පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ලදි.

පිරිමි මීටර 400 ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ අජිත් ප්‍රේමකුමාර තරගය තත්පර 49.53කින් නිමා කරමින් පස්වන ස්ථානය දිනා ගත්තේය. පළමු වටයේ දී ද එම ඉසව්වේ පස්වන ස්ථානය දිනා ගත් ඔහු එහි දී තරගය නිමා කරන ලද්දේ තත්පර 48.71ක කාලයක් වාර්තා කරමිනි.

රුමේෂිකා රත්නායක මෙහි දී මීටර 100 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වෙමින් හතර වන ස්ථානය දිනා ගත්තේ තත්පර 11.81ක කාලයක් වාර්තා කරමිනි. පළමු වටයේ දී තත්පර 11.82කින් එම ඉසව්ව නිමා කළ ඇයට එහි දී දිනා ගැනීමට හැකිවූයේ පස්වන ස්ථානයයි.

පිරිමි තුන් පිම්ම ඉසව්වට සහභාගී වෙමින් මීටර 15.03ක දුරක් වාර්තා කළ සංජීව ජයසිංහට දිනා ගැනීමට හැකිවූයේ හයවන ස්ථානයයි. ඔහු එම තරග ඉසව්වේ පළමු වටයේ දී මීටර 15.15ක් වාර්තා කිරීමට සමත් විය.

උස පැනීමේ ක්‍රීඩිකා තරංගා විනෝදිනී පළමු වටයේ දී මෙන්ම දෙවන වටයේ දී ද මීටර 1.65ක ආරම්භක උස ප්‍රමාණය සාර්ථකව නිමා කර ගැනීමට අපොහොසත් විය. සිදු වූ අතපසුවීම් මඟ හරවා ගනිමින් චීන තායිපේ හිදී පැවැත්වෙන තරගාවලියේ තෙවන හා අවසාන වටයේ දී නැවතත් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට ඇයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.

යගුලිය විසි කිරීමේ ජාතික කාන්තා ශූරිය වන තාරිකා ප්‍රනාන්දු මෙහි දී මීටර 14.58ක දුරක් වාර්තා කරමින් දිනා ගත්තේ පස්වන ස්ථානයයි. මීටර 15 සිමාව ඉක්මවූ ප්‍රථම හා එකම ශ්‍රී ලාංකික යගුලිය විසි කිරීමේ ක්‍රීඩිකාව වන තාරිකා මෙම වටයේ දී ඇයගේ හොඳම දුර ප්‍රමාණය වාර්තා කරන ලද්දේ සිය පස්වන උත්සාහයේ දී ය. මීටර 18.08ක දුර ප්‍රමාණයක් වාර්තා කළ චීනයේ කා බියෑන් මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නා ලදි.

සුමේධ රණසිංහ සහ වරුණ ලක්ෂාන් පිරිමි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වට සහභාගී වෙමින් පිළිවෙළින් හයවන හා හත්වන ස්ථාන දිනා ගැනීමට සමත් විය. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මීට පෙර මීටර 80 සිමාව ඉක්මවීමට සමත් වී ඇති නමුත් මෙහි දී සුමේධට මීටර 74.85ක දුර ප්‍රමාණයකින් සෑහීමකට පත්වීමට සිදුවූ අතර ලක්ෂාන්ට හැකිවූයේ මීටර 73.74ක දුර ප්‍රමාණයක් කරා ළඟා වීමට පමණි.  

කෙසේවුවත් චීනයේ ජියැන්ග් සිං නුවර මේ දිනවල පවතින ශීතල කාලගුණ තත්වය මඟින් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් පහත බැසීම කෙරෙහි බලපෑමක් එල්ල විය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 19ක ප්‍රමාණයකට පහත බැස තිබූ අතර එම ශීත කාලගුණ තත්වයට හැඩගැසීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය.

ආසියානු ගෝං ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන හා අවසාන වටයේ තරග අප්‍රේල් මස 30 වන දින චීන තායිපේ හි තායිපේ නගරයේ පැවැත්වීමට නියමිතය.

  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට