ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පාඩමක්

546
Asian Boys U19 Volleyabll
Sri Lanka v Thailand - 11th Asian Boys U19 Volleyball Championship 2017

11 වන ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු දිනය අද (28) යි. එහි දී ශ්‍රී ලංකාවට සහභාගී වූ පළමු තරගයෙන්ම තායිලන්තය හමුවේ වට 3-0ක් වශයෙන් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට සිදුවිය. තරගය පැවැත්වූයේ මියන්මාරයේ ‘වුන්නායි තීක්ඩි’ ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම තායිලන්තයට

11 වන ආසියානු යොවුන් වොලිබෝල් ශූරතා තරගාවලිය මාර්තු මස 28 වැනිදා සිට අප්‍රේල් මස 5 වැනිදා දක්වා මියන්මාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තරගාවලියට ඉදිරිපත් වන්නේ C කාණ්ඩය නියෝජනය කරමිනි. එහි සිටින අනෙකුත් කණ්ඩායම් වන ජපානය, උස්බෙකිස්තානය සහ තායිලන්තය අතුරින් අවම බලයක් සහිත කණ්ඩායම තායිලන්තය බව සටහන් කළ යුතුය.

මින් පෙර පැවති තරගාවලියට සහභාගී වීමෙන්  පවා ඉවත්ව සිටි තායිලන්තය සමඟ තරගයට නුවන් තාරකගේ නායකත්වයෙන් එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජවයකින් එක්වුවද, ඔවුන්ව සාර්ථකව වළක්වා ගත් බැවින් තායිලන්තය තරගයේ පළමු වටය ජය ගත්තේ 25-10ක් වශයෙනි.

දෙවන වටයට අවතීර්ණ වූ මහේල බණ්ඩාරගේ ප්‍රහාරයන් නොතකා තායිලන්ත ක්‍රීඩකයන් උපක්‍රමශීලීව ක්‍රීඩා කරමින් ලකුණු 25-15ක් වශයෙන් ජය ගත්තේය.

තෙවන අර්ධය එතරම් පහසුවෙන් ජය ගන්නට තායිලන්තයට ඉඩ නොදුන් ශ්‍රී ලාංකිකයන් ලකුණු 10 සීමාවේ දී සම සමව සිටියේය. ලකුණු 15 සීමාවේ දී ද සම වූ කණ්ඩායම් දෙක අතුරින් ඉදිරියට ගිය තායිලන්ත කණ්ඩායම ලකුණු 23ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණේ ලකුණු 21ක් පමණි. එම පරතරය අවසානය තෙක් රඳවා ගනිමින් ලකුණු 25-23ක් ලෙස එම වටය සහ සමස්ත තරගය ජය ගන්නට තායිලන්තයට හැකි විය.

ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රතිවාදීන් වන්නේ ජපානය වන අතර එය ජයග්‍රහණය කිරීමට අපහසු තරගයක් බව කණ්ඩායම් දෙකේ ශක්තිය මැන බැලීමේ දී පෙනී යයි. එම තරගය හෙට (29) පැවැත්වේ.

දිනය තුළ පැවති අනෙකුත් තරග වල දී මියන්මාර කණ්ඩායම 25-15, 25-17, 25-15ක් වශයෙන් හොංකොං කණ්ඩායම පරාජය කළේය. එමෙන්ම 25-12, 25-13, 25-11ක් වශයෙන් බංගලාදේශ යෞවනයන් පරාජය කළ කොරියානු යෞවනයන් ජය ලැබුවේය.

චීනය සහ චීන තායිපේ අතර තරගය උණුසුම් එකක් වූ අතර 28-30, 25-23, 25-19, 25-18ක් වශයෙන් වට 3-1ක් ලෙස ඉන් ජය ලැබුවේ චීන කණ්ඩායමයි.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට