ආසියානු ශූරතාවයට වර්ෂාවෙන් බාධා

361
asian athletics championship

විසි දෙවැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය ඊයේ (07) නිමාව දුටුවේ වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේයි. මීටර් 100 අවසන් පූර්ව තරගය ආරම්භ වූ සැණින් ක්‍රීඩා පිටියට වර්ෂාව ඇදැහැලීම ආරම්භ වූ අතර එමනිසා තරගය තාවකාලිකව නැවැත්වීමට තරග සංවිධායකයින් කටයුතු කළේය.

මංජුල කුමාර අවසන් තරගයට

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 22 වැනි වර හමුවීම මෙවර ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ බුබනේෂ්වර්හි කාලිංග ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙමින් තිබේ.

ආසියානු ශූරතා තරග පැවැත්වෙන කාලසමය වන විට ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයට වර්ෂාව ඇදහැලෙනු ඇති බවට විචාරකයන් කර තිබූ අනාවැකි සඵල කරමින් වැටුණු වර්ෂාවෙන් මුළු ක්‍රීඩාංගණයම තෙත බරිත වී තිබුණි. ඉන්පසුව පැයක පමණ ප්‍රමාදයකින් අනතුරුව තරග නැවත ආරම්භ කිරීමට සංවිධායකයින් කටයුතු කරනු ලැබීය.

ඊයේ (07) පැවති තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මීටර් 100 ධාවකයන් දෙදෙනාම අවසන් වටය සඳහා සුදුසුකම් සැපිරීමට අපොහොසත්වීම විශේෂත්වයකි. හිමාෂ ඒෂාන් පළමු අවසන් පූර්ව තරගයේ දී තත්පර 10.53ක් වාර්තා කළේය.

මේ අතර තෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සහභාගි වූ විනෝජ් සුරංජය ද සිල්වා තත්පර 10.44කින් තරගය නිමා කළේය. එහෙත් ඔහුට ද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියාවේ වේගවත්ම මිනිසා තේරීම් තරගය සඳහා සහභාගි වීමට අවසර ලැබුණේ නැත.

මේ අතර මීටර් 400 කාන්තා තරග ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිර්මාලි මධුෂිකා එහි පස්වැනියා වශයෙන් තරගය නිමා කිරීමට සමත්විය. දමයන්ති දර්ශා විසින් 2000 වසරේ දී මෙම ඉසව්ව තත්පර 51.05කින් නිමා කරමින් තරග වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර මේ වනතෙක් එය බිඳ දැමීමට හැකි කිසිදු ක්‍රීඩිකාවන් සමත් වී නොමැති වීම කනගාටුවට කරුණකි.

කෙසේ වෙතත් එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කී ඉන්දියාවේ නිර්මලා ක්‍රීඩිකාව  තත්පර 52.01කින් තරගය නිමා කළ අතර දෙවැනි ස්ථානය ලැබූ වියට්නාමයේ කූඩා තායි තත්පර 52.78කින් තරගය නිමා කළාය. එහි තෙවැනියා වූයේ ඉන්දියාවේ ජිස්නා මැතිව් ය. ඇයගේ තරග නිමි කාලය තත්පර 53.32ක්.

නිර්මලාගේ හොඳම තරග නිමි කාලය ලෙස දැක්වෙන්නේ තත්පර 54.16ක් වන නමුත් එම දක්ෂතාව දැක්වීමට ද ඇයට ඊයේ හැකියාවක් නොලැබුණි.

පිරිමි මීටර් හාරසීය අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිලිප් රුවන් සහ අජිත් ප්‍රේමකුමාර තරග වැදුණු අතර එහි දී පිළිවෙළින් ඔවුන්ට හිමි වූයේ පස්වැනි හා අවසන් ස්ථානයයි. රන් පදක්කම තත්පර 45.77ක දක්ෂතාවක් දැක්වූ ඉන්දියාවේ මුහමද් අනාස් හටත් දෙවැනි ස්ථානය ඉන්දියාවේම අරෝකියා රජීව්ටත් හිමි විය. රජීව් එම තරග ඉසව්ව නිමා කළේ තත්පර 46.14කිනි. එහි ලෝකඩ පදක්කම් ලාභියා වූයේ ඕමානයේ අහමඩ් මුබාරක්ය. ඔහුගේ තරග නිමි කාලය තත්පර 46.39කි.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට