මංජුල කුමාර අවසන් තරගයට

277

ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 22 වැනි වර හමුවීම මෙවර ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ බුබනේෂ්වර්හි කාලිංග ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙමින් තිබේ.

මීගමුව, මධ්‍යම පළාත් දරු දැරියන් කොළඹ හොල්ලයි

85 වැනි ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලට වර්ණවත් අවසානයක් ගෙන…

ආසියානු කලාපයේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාම පමණක් පැවැත්වෙන මෙම තරගාවලියේ දී පළමු දිනයේ (අද – 06) පැවති තරගවලට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූයේ කණ්ඩායම් නායක මංජුල කුමාරයි.

ඔහු උස පැනීමේ මූලික වටයේ තරගයකට සහභාගි වෙමින් එහි අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවේ සෙසු ක්‍රීඩකයන් අතර වැඩිමහල් ක්‍රීඩකයා වශයෙනුයි. ඒ මන්දයත් මෙවර තරගාවලියේ උස පැනීමේ තරග ඉසව්ව සඳහා සහභාගි වන වයස්ගතම ක්‍රීඩකයා වශයෙන් සැලකෙන්නේ මංජුල කුමාර නිසාවෙනි.

කෙසේ වෙතත් මූලික තරගයෙන් අවසන් තරගය සඳහා තරග වැදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයාට මීටර් 2.10 ක උසක් තරණය කිරීමට සිදු වූ අතර එය ඔහු පහසුවෙන් තරණය කරමින් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. එය මෙවර තරගාවලියේ අවසන් වටය සඳහා මුල්වරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුළු වීම වශයෙන් දැක්විය හැකියි. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විසින්ම සිදු කිරීමට සමත්වීම තවත් සුවිශේෂී සිද්ධියක් වේ.

ඉන් අනතුරුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තරගයක් මීටර් 400 පිරිමි තරග ඉසව්වෙන් පැවැත්විය. එම මූලික තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ දිලිප් රුවන් තත්පර 46.58 කින් තරගය නිමා කරමින් එහි ප්‍රථමයා බවත් පත්වූ අතර තත්පර 46.82 කින් තරගය අවසන් කළ අජිත් ප්‍රේමකුමාර තවත් මූලික වටයේ තරගයක දෙවැන්නා වශයෙන් තරගය නිමා කළේය.

එහි අවසන් පූර්ව තරගත් අද පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර එහි දී දෙවැනි එකම මූලික වටයේ තරගයකට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාට සිදුව තිබුණි. අවසානයේ ඔවුන් එම තරගයේ දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගනිමින් අවසන් තරගය සඳහා අවස්ථාව හිමි කර ගත්තේ අද පස්වරු 7.40 ට කාලිංග ධාවන පථයේදීයි. එහි දී දෙවැනි ස්ථානය දිනා ගැනීමට අජිත් ප්‍රේමකුමාර සමත්වූ අතර පළමු අවසන් පූර්ව තරගය අවලංගු කර නැවත පැවැත්වීමට තරග සංවිධායකයන් කටයුතු යොදා තිබේ. එවැනි තීරණයකට ඔවුන් පැමිණ ඇත්තේ තරග ආරම්භයේ දී සිදු වූ අඩුපාඩුවක් හේතුවෙනි.

ආසියානු ශූරතා මලල ක්‍රීඩා ධාවන පථය තුළ වේගවත්ම මිනිසා සොයා යන ගමන සඳහා සුදුසුම ක්‍රීඩකයන් සෙවීම වෙනුවෙන් අද පැවති මූලික තරගයකට හිමාෂ ඒෂාන් සහභාගි වු‍නේ පස්වරුවේයි. තරගය තත්පර 10.47කින් නිමා කරමින් මූලික වටයේ දෙවැනියා වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන විනෝජ් සුරංජය ද සිල්වා තවත් මූලික වටයේ තරගයකින් තත්පර 10.44කින් තරගය නිමා කළේ ද දෙවැන්නා වශයෙනුයි. හිමාෂ සහභාගි වූ තරගයට වඩා වේගවත් තරගයක් වූ මේ තරගයේ ජයග්‍රාහකයා තම ජයග්‍රහණය තත්පර 10.29 කින් සනිටුහන් කිරීමට සමත් විය.

කාන්තා මීටර් 400 මූලික වටයේ තරගයකින් ජය ගැනීමට නිර්මලී මධුෂිකා ද සිල්වා සමත් විය. තරගාවලියේ දෙවැනි දිනයේ තරග රැසක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ අතරින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කිහිපයකටම සහභාගි වනු ඇත. තුන්පිම්ම අවසන් තරගය ද ඒ අතර වේ ඒ සඳහා සංජය සඳරුවන් ජයසිංහ සහභාගි වන අතර කාන්තා උස පැනීමේ අවසන් තරගය සඳහා දුලාංජලී කුමාරි ක්‍රීඩිකාව ඇතුළත්ය.

තරගාවලියේ හෙට දිනයේ (07) දිනයේ තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට