​ආසියාවේ තෙවැනි තැන ශ්‍රී ලංකාවට

596

ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා සිංගප්පූරුව සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (11) තරග වැදුණු අතර ලකුණු 26-12ක් ලෙස සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. තරගාවලිය හොංකොං හි කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ආරම්භයේ සිටම දැඩි තරගකාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ සිංගප්පූරු ක්‍රීඩකයින් තම ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළේ සාවියර් දුකොනියූගේ උත්සාහයෙනි. ඊට අතිරේක ලකුණු එකතු කරන්නට මිග්නොට් සමත් විය. (07-00)

ඉන්පසු මිනිත්තුවක් ගතවෙත්ම ගැමුණු චේතියගේ අලංකාර පන්දු පාලනයකින් හරිත් වෙත ලැබුණු පන්දුව සාර්ථකව ඔහු ධවල රේඛාවෙන් එපිටට ගෙන යන්නට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගනිමින් තරගය සම මට්ටමට ගෙන ඒමට ශ්‍රී ලංකාවට හැකි විය. (07-07)

දෙපිලම අවස්ථා කිහිපයක්ම මග හරවා ගත් බවක් පෙනුණ ද පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තුවක් තිබිය දී සිංගප්පූරු ක්‍රීඩක ලූකා මිග්නොට් තවත් උත්සාහක දිනුමක් සිංගප්පූරු ලකුණු පුවරුවට එක් කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (07-12)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 07 – 12 සිංගප්පූරුව

දෙවන අර්ධයේ පිටුපසින් සිට තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ආරක්ෂක වළල්ල තර කරගනිමින් තම උපක්‍රමශීලී ක්‍රීඩා විලාසය දියත් කරනු පෙනෙන්නට තිබුණි. ඒ අවසරයෙන් ශ්‍රී ලංකා මීටර 22 සීමාවේ සිට මනරම් පාද චලන රැසක් සමඟින් දිගු දුර උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ජනිදු ඩිල්ෂාන් සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද චතුර සෙනෙවිරත්න විසින් සාර්ථක කර ගත්තේය. (14-12)

තරගයේ ඉදිරිය නැවතත් ශ්‍රී ලංකාව දෙසට නතු වූ අතර තවත් මනරම් පන්දු පාලනයක් සිදු කරමින් සිංගප්පූරු ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය ගැමුණු චේතිය අවසන් මීටර් කිහිපයේ දී අවිශ්ක වෙත පන්දුව හුවමාරු කරමින් තවත් උත්සාහක දිනුමක් වෙනුවෙන් මග පාදා දුන්නේය. එහි ප්‍රවර්තනය ජනිදු විසින් සාර්ථක කරගත්තේය. (21-12)

තරගයේ අවසන් මිනිත්තුව කාල ගණනයේ ක්‍රියාත්මක වෙත්ම දිනුක් අමරසිංහ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගාවලියේ පැහැදිලි ඉදිරිය ශ්‍රී ලංකාව වෙත නතු කර දුන්නේය. පැති රේඛාව අසලින්ම සිංගප්පූරු ක්‍රීඩකයන් අතරින් රිංගා යමින් මෙම දිනුම ඔහු විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (26-12)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 26 (4T 3C) – 12 (2T 1C) සිංගප්පූරුව

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව:  ජනිදු ඩිල්ෂාන් 1T 1C, දිනුක් අමරසිංහ 1T, අවිශ්ක ලී 1T, හරිත් බණ්ඩාර 1 T 1C, චතුර සෙනෙවිරත්න 1C
  • සිංගප්පූරුව: සාවියර් දුකොනියූ 1T, ලූකා මිග්නොට් 1T1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<