පරාජයේ අළු මතින් ජයග්‍රහණයට සැරසෙන යොවුන් ඇතුන්

500
Asia U19 Rugby 2nd leg preview

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ආසියානු ශූරතා රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ ශූරතාව සඳහා ශ්‍රී ලංකාව හා හොංකොං තරග වදින අතර එම තරගාවලියේ දෙවැනි අදියර ලබන 16 වැනි දා හොංකොං හී හොංකොං පාපන්දු ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

හොංකොං ක්‍රීඩකයින් යොවුන් ඇතුන්ගේ දළ සිඳියි

ද්විපාර්ශවීය සටනේ ශ්‍රී ලාංකේය ජයග්‍රහණ ඉඩෝරය තව දුරටත් දිගු කරවමින්, ශ්‍රී ලංකාවේ..

අදියර දෙකකින් යුක්ත මෙම ශූරතාවලියේ පළමු අදියර පසුගිය 10 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. එහි දී ශූරතාව සඳහා වූ ශ්‍රී ලංකා බලාපොරොත්තු ලකුණු 37-08ක් ලෙස බිඳ දැමූ හොංකොං ක්‍රීඩකයෝ ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ සටනේ තවත් පියවරක් ඉදිරියට යාමට සමත් විය.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් උත්සාහක දිනුමක් සහ එක් දඬුවම් පහරක් පමණක් සාර්ථක කර ගන්නා අතරතුර හොංකොං ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 7ක් සහ එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගන්නා ලදි. එම තරගයේ ප්‍රථම අර්ධය නිමා වූයේ ද 03-22ක් ලෙස හොංකොං කණ්ඩායම පෙරමුණේ පසුවෙමිනි. තරගයේ වීරයින් ලෙස හොංකොං කණ්ඩායමේ ඔලිවර් ඕවර්මන් සහ පෝල් ඕල්ටෙයර් තේරීපත් විය.

නව නායකයා අවීශ ප්‍රියංකර

පළමු තරගයේ දී නායකත්වය දැරූ සාන්ත තෝමස් විදුහලේ නවින් හේනකන්කානම්ගේ තරගය අතරතුර දී හිසට සිදු වූ ඝට්ටනයක් (concussion) හේතුවෙන් ආබාධයකට ලක්වීම නිසා, දෙවන තරගයට සහභාගී නොවනු ඇත. අත්දැකීම් බහුල මෙන්ම කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් ද වන ඔහුගේ අහිමි වීම කණ්ඩායමට බලවත් පාඩුවක් වනු ඇත.

වයස අවුරුදු 19න් පහළ මෙන්ම 20න් පහළ කණ්ඩායමේ ද නායකත්වය දරා ඇති ඔහු ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි සංචිතයේ ද නිත්‍ය ක්‍රීඩකයෙකි. කෙසේ නමුත් ඔහුගෙන් හිස්වන නායකත්වයේ වගකීම කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළ ත්‍රිත්ව විදුහලේ අවීශ ප්‍රියංකර හට හිමි වී තිබේ. දෙවන තරගයේ දී පරාජයේ අළු ගසා දමා ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ වගකීම ’Prop’ ස්ථානයේ ක්‍රීඩා කරන අවීශ ප්‍රියංකරට ලැබෙන විශාලම අභියෝගය වනු ඇත.

ශෂික, ගැමුණු ඉවතට…… දුලංජන, හරිත් ඇතුළට….

නායක නවින් හේනකන්කානම්ගේ ගේ ආබාධයෙන් හිස් වන හිඩැස පිරවීම, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දුලංජන පියතිස්ස හට භාර වී තිබේ. ගියවර බහමාස් හී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ද නියෝජනය කළ ඔහු, ‘Wing’ ස්ථානයේ ක්‍රීඩා කරන අතර හේනකන්කානම්ගේ හිඩැස පුරවමින් හොංකොං කණ්ඩායමට එරෙහිව ලකුණු රැස් කිරීම ඔහුගේ ප්‍රධානතම අභියෝගය වනු ඇත.

උරහිසේ ආබාධයක් හේතුවෙන් වෙස්ලි විදුහලේ ශෂික අශාන් හට දෙවෙනි තරගය අහිමි වනු ඇත. ’second-row’ හි ක්‍රීඩා කළ ඔහු වෙනුවට සාන්ත තෝමස් විදුහලේ හරිත් සේනානායක කණ්ඩායමට ඇතුළත් වනු ඇත. ප්‍රබල හොංකොං ඉදිරිපෙළ හා සටන් වැදීම ඔහුගේ ප්‍රධානතම අභියෝගය වනු ඇත.

උරහිසේ ආබාධ ලැයිස්තුව තවත් වැඩි කරමින් සාන්ත ජෝසප් විදුහලේ ගැමුණු චේතිය හට ද දෙවන තරගය අහිමි වනු ඇත.

කෙසේ වෙතත් අදියර දෙකකින් යුතු මේ ශූරතාවලිය ජය ගන්නා කණ්ඩායම මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරතා රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගනු ඇත.

වයස අවුරුදු 19න් පහළ ආසියානු ශූරතා තරගාවලියේ දෙවන තරගය ලබන 16දා හොංකොං හී හොං කොං පාපන්දු ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 ට තරගය ආරම්භ වනු ඇත.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<