තවමත් 20න් පහළ මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ දස්කම් හඳුනාගත් රග්බි තේරීම් කමිටුව විසින් ඔවුන්ව ජාතික සත් සාමාජික කණ්ඩායම සමඟින් පුහුණුවීම් සඳහා යොදවා ඇත. ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය (ඒෂියා සෙවන්ස්) එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට හොංකොං හිදී ඇරඹෙන අතර ඊට පූර්ව වශයෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකා 20න් පහළ යෞවනයන් පසුගියදා අවසන් වූ ආසියානු 20න් පහළ රග්බි තරගාවලියේ අනුශූරතාවය දිනාගත් අතර එහිදී ඔවුන් පරාජය වූයේ හොංකොං කණ්ඩායම හමුවේ පමණි. පසුගිය වසරේ එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේද ශ්‍රී ලංකා කණ්ඩායම වීමෙන් ආසියානු 20න් පහළ රග්බි තලය තුළ ශ්‍රී ලංකාව පසුවන මට්ටම ගැන පැහැදිලි ප්‍රතිබිම්බයක් අප හට දැක ගත හැකි විය.

මීට සති දෙකකට පෙර අවසන් වූ 20න් පහළ තරගාවලිය තුළදී දස්කම් දැක්වූ නවීන් හේනකන්කානම්ගේ, වජීඩ් ෆවුමි, අදීශ වීරතුංග සහ සුපුන් දිල්ෂාන් මෙසේ තේරීම් කමිටුවේ අවධානය දිනාගත් ක්‍රීඩකයන් වේ.

ආසියානු සත් සාමාජික දැවැන්තයන් වන හොංකොං කණ්ඩායම තුළ විදෙස් වලින් ආනයනය කරන ලද ක්‍රීඩකයන් ක්‍රීඩා කළද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක්වන්නේ පිරිසිදු ශ්‍රී ලංකා ශක්තිය සමඟිනි. එබැවින් තරගාවලියේ වත්මන් ශූරයන් වන හොංකොං දේශයට මෙවර වැඩි අභියෝගයක් හිමිවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. අදියර තුනකින් යුත් තරගාවලිය පැවැත්වෙන්නේ හොංකොං, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාවේදී යි.

තෝරාගත් යොවුන් ක්‍රීඩකයින් මේ වන විට ජාතික සංචිතය හා පුහුණුවීම් වලට එක්කොට ගෙන ඇත. 20න් පහළ ආසියානු තරගාවලියේදී උත්සාහක දිනුම් 9ක් ලබාගත් නවීන් හේනකන්කානම්ගේ තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා විය. පාසල් සත් සාමාජික තරගාවලියේ ශූරයන් වූ සාන්ත තෝමස් විද්‍යාලයේ නායකත්වයද හෙබවූ නවීන්, ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේදීද නිත්‍ය ක්‍රීඩකයෙකු විය.

නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන සුපුන් දිල්ෂාන් ඔවුන් අතරින් අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන අතර ඔහුගේ ක්‍රීඩා සමාජයම නියෝජනය කරන අදීශ වීරතුංග ද මෙවර ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ ආසන්නයටම පැමිණ ඇත.

20න් පහළ 15 සාමාජික රග්බි කණ්ඩායමේද ස්ථානයක් හිමි වූ පොලිස් ක්‍රීඩා සමාජයේ වජිඩ් ෆවුමි මෙවර ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම හා පුහුණුවීම් සඳහා තෝරාගෙන තිබේ.

12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් අවසාන වශයෙන් තෝරා ගන්නා අතර ඊට ඇතුළත් වන්නේද නොවන්නේද යන්න දැන් ඇත්තේ මේ යොවුන් ක්‍රීඩකයන් අතයි. දකුණු අප්‍රිකානු ජාතික මැට් ටර්නර් මහතාගෙන් හිස්වූ පුහුණුකරු අසුන ගත් නවසීලන්ත ජාතික පීටර් වුඩ්ස් මහතාගේ පුහුණුකාරීත්වයෙන් ඊට තවත් අඩුම කුඩුම එකතු කර ගත හැකි නම් ගමන පැහැදිල වනු ඇත.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට