තරග තුනේම ජය ලංකාවට

347
Asia 7s second led - day 1

ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ ප්‍ර‍ථම වටයේ තරග මීට සති කිහිපයකට ප්‍ර‍ථම මැලේසියාවේදි පැවැත්විය. එහි දෙවන වටයේ තරග අද හොන්ග් කොන්ග් හිදි ආරම්භ වුනු අතර ශ්‍රී ලංකාව එහිදි රටවල් 3ක් සමග තරග වැද සියළු තරග වලින් ජයග්‍ර‍හණය කිරිමට සමත් විය.

පසුගිය ලිපි: ඉතිහාසයේ නව පිටුවක් පෙරලු ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩකයෝ

පැවති ප්‍ර‍ථම තරගය උදෑසන 10.30 චීන තායිපේ කණ්ඩායම සමගත්, දෙවන තරගය දහවල් 12.38 තායිලන්ත කණ්ඩායම සමගත්, තෙවැනි තරගය සවස 03.08 මැලේසියනු කණ්ඩායම සමගත් පැවැත් විනි. තරග සියල්ල හොන්ග් කොන්ග් හි රෝයල් පාර්ක් ක්‍රීඩාංගණයේදි පැවැත්විය.

ශ්‍රී ලංකාව සහ චීන තායිපේ කණ්ඩායම් අතර තරගය

දෙවන වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ චීන තායිපේ කණ්ඩායම හමුවේ 36-12ක් ලෙස ජය වාර්තා කිරීමට සමත් විය. තරගය ආරම්භයේදි එතරම් හොදින් සාර්ථකව ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් විය. චීන තායිපේ කණ්ඩායම ප්‍ර‍ථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක කෙවින් ඩික්සන් උත්සහක දිනුමක් වාර්තා කරමින් ලකුණු රැස් කිරීම ආරම්භ කලේය.  ප්‍ර‍ථම අර්ධය නිමාවන වීමට මත්තෙන් තවත් උත්සහක දිනුමක් ලබා ගන්නට තායිපේ ක්‍රීඩකයින් සමත් වුනු අතර ලකුණු තත්වය 07-12 ක් ලෙස පෙරමුණ ගැනීමට චීන තායිපේ ක්‍රීඩකයින් සමත් විය.

ප්‍ර‍ථම අර්ධය: ශ්‍රී ලංකාව 07 : 12 චීන තායිපේ

දෙවන අර්ධයේදි වඩාත් සක්‍රීය වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය සියතට ගැනීමට සමත් වූහ. එහිදි චීන තායිපේට එදිරිව උත්සහක දිනුම් 06කින් බල ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වු අතර නිශොන් පෙරේරා සහ ඔමල්ක ගුණරත්න දෙදෙනා විසින් උත්සහක දිනුම් දෙක බැගින්ද, චාමික කුසල් උත්සහක දිනුම් එක බැගින්ද වාර්තා කිරීමට සමත් විය. මෙම තරගය අතරවාරයේදි නායක කෙවින් ඩික්සන් ආබාධයකට ලක්විය. ප්‍ර‍තිවාදීන්ට කිසිදු ලකුණක් දෙවන වටයේදි වාර්තා කිරීමට නොහැකි විය.

අවසන් ලකුණු: ශ්‍රී ලංකාව 32 : 12 චීන තායිපේ

තරගයේ ඡායාරූප ඇල්බම සදහා පිවිසෙන්න


ශ්‍රී ලංකාව සහ තායිලන්ත කණ්ඩායම් අතර තරගය

දෙවන තරගය වන මෙය පැවැතියේ තායිලන්තය සමගයි, එයද ජයග්‍ර‍හණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූයේ තායිලන්ත ක්‍රීඩකයින් අන්ත අසරණ කරමිනි. එහිදි නියමිත කාලය අවසන් වන විට ලකුණු පුවුරුව 40-05 ලෙසින් දිස්විය.

ප්‍ර‍ථම අර්ධය නිමාවීමට මත්තෙන් බුද්ධිම ප්‍රියරත්න උත්සහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය. ඒ අතරම රීසා රෆයිඩීන් ද සිය ප්‍ර‍ථම උත්සහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර සියළුම ප්‍ර‍වර්ථනයන් ද (03) සාර්ථක කරගනිමින් අතිරේක ලකුණු කණ්ඩායමට එක් කිරීමට සමත් විය.

ප්‍ර‍ථම අර්ධය: ශ්‍රී ලංකාව 21 : 00 තායිලන්තය

දෙවැනි අර්ධයේදි තායිලන්තය සිය ප්‍ර‍ථම ගෝලය වාර්තා කිරීමට සමත් වූ නමුත් ශ්‍රී ලංකාවට අභියෝගයක් විය හැකි ආකාරයකින් ලකුණු රැස් කිරීමට ඔවුන් සමත් වූයේ නැත. චාමික කුසල් සහ විමුක්ති රහුල් ද උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නියමිත කාලය අවසන් වන විට ශ්‍රී ලංකාව තවත් ලකුණු 19 වාර්තා කරමින් තරගය ජයග්‍ර‍හණය කිරීමට සමත් විය.

අවසන් ලකුණු: ශ්‍රී ලංකාව 40 : 05 තායිලන්තය


 ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය

අද දිනයේ පැවති තෙවැනි සහ අවසන් තරගය මැලේසියාව හමුවේ පැවති අතර එයද 40-05 ලෙසින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. තරග 3දීම දක්ෂ ලෙස ක්‍රීඩා කල ඔමල්ක ගුණරත්නගේ ක්‍රීඩා කෞෂල්‍ය කැපිපෙනෙන කරුණක් විය. දෙවැනි තරගය මෙන් මෙහිදී ද ප්‍ර‍තිවාදීන් වූ මැලේසියාව ප්‍ර‍ථම අර්ධයේදි කිසිදු ලකුණක් වාර්තා කිරීමට අපොහොසත් වු නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් බුද්ධිම ප්‍රියරත්න, රීසා රෆයිඩීන් ප්‍ර‍ථම අර්ධයේදි ලකුණු රැස් කිරීමට සමත් විය.

ප්‍ර‍ථම අර්ධය: ශ්‍රී ලංකාව 21 : 00 මැලේසියාව

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමාකාරයෙන් තරග වැදුනේ අවසන් තරගයේදීය. ඔවුන් සිය උපරිමය විදහා දක්වමින් ක්‍රීඩා කරන ආකාරය තරගය පුරාම දැක ගන්නට ලැබුනි. දෙවැනි අර්ධයේදි ශිම්රි බූරාහ් විසින් උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. රෙහාන් සිල්වාගේ සහය ඇතිව විමුක්ති රහුල්ද අනර්ඝ උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. අවසාන උත්සහක දිනුම වාර්තා වූයේ චාමික කුසල් විසිනි. රීසා රෆයිඩීන් විසින් ප්‍ර‍වර්ථනයන් 4ක් සාර්ථක කරගැනීමට සමත් විය.

අවසන් ලකුණු: ශ්‍රී ලංකාව 40 : 05 මැලේසියාව

මේ අතරවාරයේදි හොන්ග් කොන්ග් සහ දකුණු කොරියාව අතර පැවති තරගයේදි 33 – 00 ලෙසින් ජය වාර්තා කිරීමට හොන්ග් කොන්ග් ක්‍රීඩකයින් සමත් විය. කෙසේනමුත් හෙට දිනයේදි ශ්‍රී ලංකාව, දකුණු කොරියාව හා තරගය වැදීමට නියමිත අතර ඒ පිළිබදව අදහස් දක්වමින් කණ්ඩායම් කළමණාකරු රජීව් පෙරේරා සදහන් කර සිටියේ “දකුණු කොරියාවට එදිරිව හෙට තියෙන තරගයේදි අපි උපරිමයෙන් ක්‍රීඩා කරන්න ඕන, දකුණු කොරියාව අලුතෙන් ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් තරගයට එකතු කරගෙන තිබෙනවා. ඒවගේම අපේ ආබාධවලට ලක්වුනු ක්‍රීඩකයෝ එක් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. එහිදි නායක කෙවින් ඩික්සන් පලමු තරගයේදීම ආබාධයකට මුහුණ දුන්නා ඒවගේම බුද්ධිම ප්‍රියරත්නත් ආබාධයකට ලක්වුනා.“

කෙවින් ඩික්සන් වලලුකර ප්‍රදේශයේ ආබාධයකට ලක්වූයේ උදෑසන පැවති ප්‍ර‍ථම තරගය වන චීන තායිපේ තරගය අතරතුරදීය. එමනිසා අද දිනයේ පැවති අනෙක් තරග ද්විත්වය ඔහුට මගහැරිනි. එමෙන්ම බුද්ධිම ප්‍රියරත්නගේ දකුණු ඇස අසල තුවලයක් සිදුවී ඇති නමුත් එය බරපතල නොව බව කළමණාකරු වැඩිදුරටත් ප්‍ර‍කාශ කරන ලදි.

කෙසේනමුත් මෙම ආබාධ සියල්ල යතා තත්වයට පත් කරගනෙ හෙට තරගය හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහු වැඩි දුරටත් පවසන ලදි.

ශූරතාවලියේ අවසන් දිනය වන හෙට දිනයේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු කොරියාව සමග කුසලාන අර්ධ අවසන් වටයට (Cup Semi Final) තරග වැදෙනු ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට