තෙවැනි අදියරේ දීත් කාන්තාවෝ පළඟ ශූරතාව දිනති

302

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කොළඹ දී පැවැත්වෙන 3 වැනි අදියරේ කාන්තා පළඟ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (14) සමත් වූහ. ඒ තායිලන්තය සමඟ පැවති පළඟ අවසන් තරගය 07-05ක් ලෙස ජය ගනිමිනි.

මැක්ස් ඩෙන්මාර්ක් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උදුරා ගනී

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියරේ දෙවන දිනය වූ අද…

ශ්‍රී ලංකාව තරගය පහසුවෙන්ම ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළත් තරගය මුල සිටම ඉතා තියුණු මුහුණුවරක් ගනු ලැබීය. තරගයේ මුල සිටම තායිලන්තය ඉතා දැඩි ආරක්ෂක උපාය උපක්‍රම භාවිතා කළ අතර ආක්‍රමණ එල්ල කිරීමටත් අමතක නොකරන ලදි.

තරගයේ මුල් මිනිත්තු කිහිපය තුළ දී දෙපිලටම ලකුණු වාර්තා කළ නොහැකි වූවත් 6 වැනි මිනිත්තුවේ දී උපායශීලී ලෙසින් තායිලන්ත ආරක්ෂක වළල්ල බිඳ හළ ශ්‍රී ලංකා නායිකා සංජීවනී විජේතිලක ශ්‍රී ලංකාව පෙරමුණට රැගෙන ගියාය.

එහි ප්‍රවර්තනය ඉතා වැදගත් එකක් වූ අතර අයේෂා කළුආරච්චි විසින් සාර්ථක ප්‍රවර්තනයක් සිදුකර ශ්‍රී ලංකාවට තවත් ලකුණු දෙකක් හිමිකරදෙන ලදී‍. (ශ්‍රී ලංකාව 07-00 තායිලන්තය)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 07 – 00 තායිලන්තය

දෙවැනි අර්ධයේ දී ආක්‍රමණයට මුල් තැන දුන් තායිලන්ත ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට පීඩනයක් ගෙන දෙන්නට සමත් විය. ඒ අවසරයෙන් දෙවැනි අර්ධයේ තුන්වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට තායිලන්තයේ තනපෝන් හුවාන්කිඩ් සමත් විය.

නමුත් මෙම තරගයේ වැදගත්ම කාරණයක් වූ ප්‍රවර්තනය එහි දී අසාර්ථක වූ අතර ඒ අනුව තරගයේ පෙරමුණ තවදුරටත් හිමි වූයේ ශ්‍රී ලංකාවටයි. (ශ්‍රී ලංකාව 07 – 05 තායිලන්තය)

තරගය අවසන් වීමට තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකාවෙන් සිදු වූ වැරදීමකින් scrum අවස්ථාවක් තායිලන්තයේ වාසියට හිමි වූ අතර ශ්‍රී ලංකාවට පාඩුව දෙගුණ කරමින් ශ්‍රී ලංකාවේ තනූජා වීරක්කොඩි හට කහ කාඩ්පතක් හිමි විය.

ඒ අවස්ථාවේ දී සියලුම කටයුතු තායිලන්තයේ වාසියට සිදු වූවත් එයින් උපරිම ඵල නෙලාගැනීමට තායි ක්‍රීඩිකාවන් අපොහොසත් විය. තායිලන්ත ක්‍රීඩිකාවන්ගෙන් ද අත්වැරදීමක් සිදුවිය. කාලය නිමා විය. විනිසුරුවරයා තරගය අවසන් කිරීමේ සංඥාව නිකුත් කළේය. ඒ අනුව ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියරේ කාන්තා පළඟ ශූරතාවය ශ්‍රී ලංකාවට හිමි විය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 07 (1T, 1C) – 05 (1T) තායිලන්තය

ලකුණු රැස් කළ ක්‍රීඩිකාවන් 

  • ශ්‍රී ලංකාව – සංජීවනී විජේතිලක (1T), තනූජා වීරක්කොඩි (1C)
  • තායිලන්තය – තනපෝන් හුවාන්කිඩ් (1T)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළඟ අවසාන තරගයට

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තෙවැනි අදියරේ පළඟ අවසාන (Plate Final) තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය. ඒ පළඟ අවසන් පූර්ව තරගයක දී 40-00ක් ලෙසින් ඉතා පහසුවෙන් සිංගප්පූරුව පරාජය කරමිනි.

තරගය ආරම්භ වී මිනිත්තුවක් පමණ ගත වූ තැන මීටර 45ට වැඩි දුරක් පන්දුව සමඟින් දිවවිත් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට තනූජා වීරක්කොඩි සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක විය. ඒ අනුව තරගය ආරම්භ වී සුළු මොහොතකින් විශ්වාසය ද තරගයේ පෙරමුණ ද සත්කාරක ශ්‍රී ලංකාවට හිමි විය. (07-00)

4 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවේ වාසියට scrum එකක් හිමි වීමත් සමඟින් පන්දුව ඉතා නුවණක්කාර ලෙසින් තීක්ෂනා ලියනගේ හට තනූජා වීරක්කොඩි විසින් ලබා දුනි. ඒ අවසරයෙන් විදුලියක බඳු වේගයකින් දිවගිය තීක්ෂනා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරන ලදි. එහි ප්‍රවර්තනය ද සාර්ථක විය. (14-00)

6 වැනි මිනිත්තුවේ දී සිංගප්පූරු ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු මඟහැර ඉතා අනර්ඝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අයේෂා පෙරේරා හට හැකි විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක වූ අතර ඒ වන විටත් තරගය මුළුමනින්ම පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන්ට හැකි විය. (21-0)

පළමු අර්ධයේ මිනිත්තු 7ක් අවසන් වූ පසු තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එම උත්සාහක දිනුමේ හිමිකාරිනිය වූයේ අයේෂා පෙරේරා ය. ඒ මෙම තරගයේ ඇය විසින් වාර්තා කරන ලද දෙවැනි උත්සාහක දිනුමයි.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රවර්තන ඉතා දුර්වල මට්ටමක පැවතිය ද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනයත් සමගින් මුල් අර්ධයේ දී ප්‍රවර්තන හතරම සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. (28-0)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 28 – 00 සිංගප්පූරුව

දෙවැනි අර්ධයේ පළමු මිනිත්තුවේ දී  සිංගප්පූරු ක්‍රීඩිකාවන් විසින් ශ්‍රී ලංකාව දෙසට දැඩි පීඩනයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ආසන්නයටම පැමිණිය ද තනූජා වීරක්කොඩිගේ දක්ෂ ආරක්ෂක පෙළ උපාය නිසා පන්දුව ශ්‍රී ලංකාවට හිමි විය.

ඒ අවසරයෙන් පන්දුව අතට ගත් ශ්‍රී ලංකා නායිකා සංජීවනී විජේතිලක විසින් ක්‍රීඩාංගණයේ එක් කොනක සිට අනෙක් කොනට දිවවිත් තරගයේ 5 වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (33-00)

ධනුෂ්ක රන්ජන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නඩය චීන සහෝදරයින්ට බැට දෙති

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර අද (13) කොළඹ…

දෙවැනි අර්ධයේ 5 වැනි මිනිත්තුවේ දී දුලානි පල්ලිකොන්දගේ විසින් තමා අතට ලබා දුන් පන්දුව සීමා ඉරෙන් ඔබ්බට ගෙන යාමට වාසනා වීරක්කොඩි කටයුතු කළත් සමඟින් තරගයේ ලකුණු සටහන 38-00ක් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක වීමත් සමඟින් 40-00ක් ලෙසින් තරගයේ ලකුණු සටහන දැක්වුණි.

තරගය පුරාවටම ශ්‍රී ලංකාවට සැලකිය යුතු මට්ටමෙන් හෝ අභියෝගයක් දීමට සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට නොහැකි විය. ඔවුන් අත්වැරදීම් ඉතා විශාල ප්‍රමාණයක් සිදු කළ අතර ඒවාගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන්ට හැකි විය.

ඒ අනුව තරගය 40-00ක් ලෙසින් නිමා වූ අතර පළඟ අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. දකුණු කොරියාව 10-26ක් ලෙසින් පරාජය කළ තායිලන්තය අද සවස 4.28ට ශ්‍රී ලංකාව සමඟින් පළඟ අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 28 (7T, 5C) – 00 සිංගප්පූරුව

ලකුණු වාර්තා කළ ක්‍රීඩිකාවන් :

ශ්‍රී ලංකාව – අයේෂා පෙරේරා (2T), තනූජා වීරක්කොඩි (1T,1C), වාසනා වීරක්කොඩි (1T), සංජීවනී විජේතිලක (1T), තීක්ෂනා ලියනගේ (1T), අයේෂා කළුආරච්චි (4C)

කළුආරච්චි හා තනුජා වීරක්කොඩි කොරියානු සිහින බොඳ කරයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර අද (13) කොළඹ…


ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජපානය හමුවේ පසුබසී

2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියරේ දෙවන හා අවසන් දිනය අද (14) ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම පළමු වටයේ සිය අවසන් තරගය සඳහා අද උදෑසන ප්‍රබල ජපානය සමඟ තරග වැදුණි. ඊයේ හොංකොං සමඟ පැවති තරගය පරාජය වුනත් කොරියානු තරගය ජය ගත් ඔවුන් අවාසනාවන්ත ලෙස අද ජපානය හමුවේ ලකුණු 29-00ක් ලෙස පරාජය විය.

ප්‍රබල ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම විවේක ගන්වා ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසුණු අතර ජපන් ක්‍රීඩිකාවන්ගේ ශාරීරික ශක්තිය හා ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ආරම්භයේ දී ම සිදු කළ අතපසුවිම කිහිපයක් උපයෝගී කර ගනිමින් ජපන් ක්‍රීඩිකාවන් පළමු අර්ධයේ දී දෙවතාවක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය.

Tomomi KOZASA දෙවන මිනිත්තුවේ දී හා Riho KUROGI සිව්වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුම් වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දුව ආවරණය කිරීමේ දී සිදු වූ අතපසුවීම්වල උපරිම ප්‍රයෝජනය ගනිමිනි. ඉන් පළමු උත්සාහක දිනුම ප්‍රවර්තනය කිරීමට Yume OKURODA  සමත් විය.

පළමු අර්ධය: ජපානය 12 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේ ද සිය සුපුරුදු රිද්මයට ක්‍රීඩා කළ ජපන් ක්‍රීඩිකාවෝ නවවැනි මිනිත්තුවේ දී හා එකොළොස්වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළ අතර Hana NAGATA හා Raichelmiyo BATIVAKALOLO එම උත්සාහක දිනුම් වලට හිමිකම් කියන ලදි. (ජපානය 22-00 ශ්‍රී ලංකාව)

අනතුරුව තරගයේ අවසන් මිනිත්තුවේ දී ජපානයේ Riho KUROGI තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂක වළලු සුනුවිසුනු කරමිනි. Emii TANAKA එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (ජපානය 29-00 ශ්‍රී ලංකාව)

තරගාවලියේ තවත් සවිස්තර වාර්තා සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

අවසන් ලකුණු තත්වය: ජපානය 29 (5T, 2C) – 00 ශ්‍රී ලංකාව

ලකුණු රැස් කිරීම

  • ජපානය – Riho KUROGI (1T), Emii TANAKA (1C), Hana NAGATA (1T), Raichelmiyo BATIVAKALOLO (1T), Tomomi KOZASA (1T), Riho KUROGI (1T), Yume OKURODA (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<