තලන තරමට පදම් වන ස්මිත් ශතක දෙකක් සමඟින් තරගය දිනවයි!

3489

පිටියක් මැද හුදකලා වන පිතිකරුවෙකුට ප්‍රතිවාදී පන්දු රකින්නන් 11 දෙනෙකුගෙන් එල්ල වන පීඩනය මැද ඉනිමක් ගොඩ නැගීම පහසු කාර්යයක් නොවේ. ඒ පීඩනයට අමතරව තරගය නරඹන ප්‍රේක්ෂකයින් ද ඔහුට උසුළු විසුළු කරයි නම් මානසික ඒකාග්‍රතාවය රැකගෙන පන්දුවට පහර දීම අතිශයින්ම දුෂ්කර වෙයි.

නමුත් දඟපන්දු යවන්නෙකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර පසුව ලොව බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු බවට පත්වූ ස්ටීවන් ස්මිත් එම අභියෝගය අද (05) ජය ගත්තේ අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ ජය ද ඕස්ට්‍රේලියාවට දිනා දෙමිනි. 

පසුගිය වසර මුල පන්දුව පලුදු කිරීමේ සිද්ධියක් නිසා වසරක ක්‍රිකට් තහනමකට ලක්වූ ඔහු එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ දැඩි අපවාද මැද නැවතත් ටෙස්ට් පිටියට පැමිණ දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතාව හුදෙක්ම ක්‍රිකට් තරගයකට වඩා අධිෂ්ඨානය පිළිබඳ පාඩමක් බඳු විය.

සති දෙකක් ඇතුළත හොඳම පුහුණුකරුවෙකු ලංකාවට? ක්‍රීඩා ඇමතිගෙන් ඉඟියක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ වෙනසක් සිදු කිරීමට…..

බර්මිංහැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගය වඩාත්ම සුවිශේෂී වූයේ එය පන්දුව පළුදු කිරීමේ සිද්ධියට වරද කරුවන් වූ ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ කැමරෝන් බැන්ක්‍රොෆ්ට් යන ක්‍රීඩකයින් තිදෙනාගේම ටෙස්ට් පුනරාගමනය සිදු වූ තරගය වූ බැවිනි. එම සිද්ධිය නැවත මතක් කරමින් ඔවුන්ව අපහසුතාවට පත් කිරීමට උත්සාහ දැරූ සමහරක් එංගලන්ත ප්‍රේක්ෂකයින් මෙම තරගයට කහ පැහැති වැලි කඩදාසි ද රැගෙන විත් තිබුණි. 

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු පිළේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් දැවී යාමත් සමඟම ඔවුන් ඒවා ලෙළ දවමින් සතුට පළ කරනු ද දැක ගන්නට ලැබුණි. නමුත් පුනරූපන මගින් තහවුරු වූයේ එය අලීම් ඩාර් විනිසුරු විසින් කඩුල්ල මුවා කිරීමක් ලෙස සටහන් කළ ද එය සැබවින්ම නොදැවීමක් විය යුතු බවයි. කෙසේ වෙතත් ඒ වන විටත් වෝනර් ප්‍රේක්ෂකයින්ගේ උසුළු විසුළු මැද පිටිය හැරගොස් තිබුණි. එතැන් සිට ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 8ක්ම දැවී ගියේ ලකුණු 122කටයි.

නමුත් තම ටෙස්ට් පුනරාගමනය සිදු වන තරගයේ දීම ලෝකයේම අවධානය තමන් වෙත නතුකර ගනිමින් හුදකලා සටනක් දියත් කළ ස්ටීවන් ස්මිත් තම කණ්ඩායමේ ලකුණු පුවරුව 284ක් දක්වා ඉහළ නංවන්නට සමත් විය. හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ඔහු ලකුණු 144ක් රැස් කළේ තමන්ට විරෝධය පළ කරන්නට පැමිණි ප්‍රේක්ෂකයින්ට පිත්තෙන් පිළිතුරු ලබා දෙමිනි. 

මෙම ඉනිම අතරතුරේ දී ස්මිත් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සඳහන් කරමින් අලීම් ඩාර් නැවතත් වැරදි තීරණයක් ලබා දුන්න ද DRS අවස්ථාවක් භාවිතා කරමින් එය කණපිට හරවන්නට ද ඔහුට හැකි විය. සමස්තයක් ලෙස මෙම තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ අලීම් ඩාර් සහ ජොයෙල් විල්සන් යන විනිසුරුවරුන් දෙදෙනාම අතින් වැරදි තීරණ විශාල ප්‍රමාණයක් තරගය පුරාවට දැක ගන්නට ලැබුණි.

ආරක්ෂාව ගැන බලන්න ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට 4ක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට පෙර එරට පවතින වත්මන්…..

එංගලන්තය තම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 374ක් ලබා තරගයේ වැඩි වාසි නතු කර ගත් අතර එහි මූලිකත්වය ගත්තේ ලකුණු 133ක් රැස් කර ගත් ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් විසිනි. ඒ අනුව ඕස්ට්‍රේලියාව තම දෙවැනි ඉනිම ඇරඹුවේ එංගලන්තයට වඩා ලකුණු 90ක් පිටුපසින් සිටිමිනි. නමුත් දෙවැනි ඉනිමේ දී බහුතරයක් පිතිකරුවන් ස්ටීවන් ස්මිත් වෙත සහය පළ කරනු දැක ගන්නට ලැබුණු අතර ඒ නිසාවෙන්ම ඔවුන්ට කඩුලු 7කට ලකුණු 487ක් ලබා ඉනිම අත්හිටුවීමට ද හැකි විය.

එහි දී නැවතත් හඬ නැගූ ස්මිත්ගේ පිත්ත මෙවර ලකුණු 142ක් එක්කාසු කර ගත්තේ සීමාව ඉක්මවා ගිය එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ කටට පැලැස්තර අලවා දමමිනි. මෙවර ඔහුගේ ඉනිම දැකුම්කළු හතරේ පහර 14කින් වර්ණවත් විය. ඉනිම දෙකේදීම සුපිරි ශතක දෙකක් රැස් කිරීමෙන් අනතුරුව ස්මිත් ප්‍රකාශ කර සිටියේ කුමක් සිදු වුවද තම හැකියාව පිලිබඳව කිසිදු සැකයක් තමන්ට නොතිබූ බවයි. 

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ සාර්ථකත්වයට එංගලන්තය සතු සුපිරිතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ආබාධයකට ලක් වීමද වාසියක් විය. මෙම තරගයේ දී ඔහුට යැවීමට ලැබුණේ පන්දුවාර 4ක් පමණි. ඒ අනුව අද පස්වැනි සහ අවසන් දිනයේ දී ලකුණු 385ක ඉලක්කයක් කරා යාමට උත්සාහ දැරූ එංගලන්ත පිළ ලකුණු 146කට සීමා කරමින් සුපිරි ටෙස්ට් ජයක් වාර්තා කර ගැනීමට ද ඕස්ට්‍රේලියානුවන්ට හැකි විය. එහි දී අවසන් දිනයේ තණතිල්ලේ තිබූ දඟ කැවීමෙන් උපරිම ඵල නෙලා ගත්තේ ලකුණු 49ට කඩුලු 6ක් දවා ගත් නේතන් ලයන් විසිනි.

ක්‍රිස් ගේල් පසුකර යමින් රෝහිත් ශර්මාගෙන් තවත් ලෝක වාර්තාවක්!

එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ දෙවැනි විස්සයි විස්ස…..

ඒ අනුව ප්‍රථම ඉනිමේ වාසියක් ලබාගත් සත්කාරක එංගලන්ත පිළ පෙරළිකාර අන්දමින් ලකුණු 251ක දැවැන්ත පරතරයකින් පරාජය කරමින් අළු බඳුන තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ අතීතයේ සිදු වූ වැරදි වලට දඬුවම් විඳ විශිෂ්ට ශතක දෙකක් සමඟින් නැවතත් ටෙස්ට් පිටියට පුනරාගමනය කළ ස්ටීවන් ස්මිත්ටයි. 

අළුබඳුන තරගාවලියේ දෙවැනි තරගය අගෝස්තු 14 වැනිදා ක්‍රිකට් තිඹිරිගෙය ලෙසින් හැඳින්වෙන සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

ඕස්ට්‍රේලියා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 284 (පන්දුවාර 80.4): ස්ටීවන් ස්මිත් 144, පීටර් සිඩ්ල් 44, ට්‍රැවිස් හෙඩ් 35, උස්මාන් කවාජා 13, ස්ටුවර්ට් බ්‍රෝඩ් 5/86, ක්‍රිස් වෝක්ස් 3/58.

එංගලන්ත (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 374 (පන්දුවාර 135.5): රෝරි බර්න්ස් 133, ජෝ රූට් 57, බෙන් ස්ටෝක්ස් 50, ක්‍රිස් වෝක්ස් 37*, ස්ටුවර්ට් බ්‍රෝඩ් 29, පැට් කමින්ස් 3/84, නේතන් ලයන් 3/112, පීටර් සිඩ්ල් 2/52.

ඕස්ට්‍රේලියා (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 487 (පන්දුවාර 112): ස්ටීවන් ස්මිත් 142, මැතිව් වේඩ් 110, ට්‍රැවිස් හෙඩ් 51, ජේම්ස් පැටින්සන් 47*, උස්මාන් කවාජා 40, බෙන් ස්ටෝක්ස් 3/85, මොයීන් අලි 2/130.

එංගලන්ත (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 52.3): ක්‍රිස් වෝක්ස් 37, ජෝ රූට් 28, ජේසන් රෝයි 28, නේතන් ලයන් 6/49, පැට් කමින්ස් 4/32.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<