මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උරුම වූ තරග පරාජයන් රැසකටම ප්‍රබල හේතුවක් බවට පත්වූයේ ඔවුන්ට ප්‍රතිවාදී ඉනිමේ මැද කොටසේ දී කඩුලු දඩයම් කර ගැනීමට නොහැකි වීමයි.

කෙසේ වෙතත් අද (02) තරගයේ දී මෙම තත්ත්වය සහමුලින්ම වෙනස් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් තහවුරු කර පෙන්වූයේ ලොව ඕනෑම කණ්ඩායමක කඩුලු දවා ගන්නා දඟ පන්දු යවන්නෙකු සිටීම ඉතාමත් වටිනා ආයෝජනයක් විය හැකි බවයි.

අඳුරින් වැසුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සඳකැන් එළිය දෙයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයේ දී උරුම වූ අනපේක්ෂිත පරාජයේ අවමානය යම්තාක් දුරකට..

සඳකැන් මෙම තරගයේ දී ලකුණු 52කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම වාර්තා කිරීමට ද සමත් විය. ඒ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරගාවලිය 1 – 1ක් ලෙස සම කිරීමට ද ආධාර වෙමිනි. “මං එක්දින තරගයක් ක්‍රීඩා කළේ මාස 2, 3කට පසුවයි. දීර්ඝ විරාමයකින් පස්සෙ ඔබ ක්‍රීඩාවට පිවිසෙන විට සාර්ථක වීමට නම් ඉහළ ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. ඒ සඳහා බොහෝ උපකාරයන් මට කණ්ඩායමේ සෑම දෙනාගෙන්ම හිමි වුනා.

අපිට ඔවුන්ගේ පිතිකරුවන් ගැන සැලසුම් කිහිපයක්ම තිබුණා. මට හිතෙන විදිහට අපි ඉතාමත් හොඳින් ඔවුන්ට මුහුණ දුන්නා. වෙනදාට වඩා පන්දු රකින්නන් යෙදවීමේ වෙනස්කම් වගේම පන්දුව මන්දගාමී ලෙස යොමු කිරීමටත් අපි වගබලා ගත්තා. සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දු යැවිය යුතු ආකාරයත් අපි පළමු තරගයෙන් පසුව සාකච්ඡා කළා. මා දකින්නේ මෙම සාර්ථකත්වය එම සැලසුම්වල ප්‍රතිඵලය ලෙසයි.” අද තරගයෙන් අනතුරුව ලක්ෂාන් සඳකැන් ප්‍රකාශ කර සිටියේය.

සඳකැන් පසුගිය දා නිමාවට පත්වුණු ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ද ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ නමුත් එහි දී ඔහු එකදු තරගයකට හෝ ක්‍රීඩා නොකිරීමට හේතුව දන්නේ තේරීම් කමිටුවත්, කණ්ඩායම් කළමනාකාරිත්වයත් පමණි. තරගාවලිය ඇරඹීමට පෙරාතුව ඔහුව ශ්‍රී ලංකා පිළේ ප්‍රධාන තුරුම්පුවක් ලෙස සැලකුණු නමුදු අවසානයේ ඔහුට සිදු වූයේ තරගාවලිය පුරාවටම බංකුව රත් කිරීමටයි.

පසුගිය සිකුරාදා ලැබූ ලැජ්ජා සහගත පරාජයේ දී අමිල අපොන්සු සහ අකිල ධනංජය යන දඟ පන්දු යවන්නන් දෙදෙනාටම සැලකිය යුතු කාර්‍යභාරයක් ඉටු කිරීමට නොහැකි වීමෙන් අනතුරුව තේරීම් කමිටුව ඔවුන් දෙදෙනාවම කපා දමා සඳකැන් දෙසට හැරීමට තීරණය කළේ වෙනත් විකල්පයක් ඔවුන් සතු නොවූ බැවිනි. කෙසේ වෙතත් ඔහුට එම අවස්ථාව සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නෙකුගේ ස්ථානය ලබා ගැනීමට උපකාරී විය. “මං අසනීප තත්ත්වයෙන් සිටි නිසා හරිහැටි පුහුණුවීම් කිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසාම මට නැවතත් නිවස බලා යාමටත් සිදු වුනා. නමුත් ලැබෙන සෑම තරගයක්ම මා සලකන්නේ නව අවස්ථාවක් හැටියටයි. ඒ නිසා මගේ උපරිමය කරමින් කණ්ඩායම වෙනුවෙන් හැකිතාක් කඩුලු දවා ගැනීමට මා උත්සාහ කරනවා.” ඔහු කියා සිටියි.

තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ඩීප් ස්ක්වෙයාර්-ලෙග් හි පන්දු රැකි සඳකැන් දෙසට ඇවිද ගොස් මෙම නවක දඟ පන්දු යවන්නාට බොහෝ උපදෙස් ලබාදෙන අයුරු සහ ඔහුගේ ආත්ම විශ්වාසය වර්ධනය කරන අයුරු දැක ගන්නට ලැබුණි. “ඔහු (ගුරුසිංහ) මට කියා සිටියේ මාගේ සාමාන්‍යය රිද්මයෙන් ක්‍රීඩා කරන ලෙසයි, හරියට ක්‍රීඩා සමාජ තරගයක දී වගේ. ඒක මට කළකට පසු ජාත්‍යන්තර තරගයට එක්වීමේ දී වුවත් චකිතයකින් තොරව මගේ පන්දු සියල්ලම පාහේ අත්හදා බැලීමට ශක්තියක් වුනා. අනවශ්‍ය පරිදි මා වෙත පීඩනය පටවා නොගන්නා ලෙසට ඔහු උපදෙස් දුන්නා.” සඳකැන් එම අවස්ථාව විස්තර කරමින් කියා සිටියේය.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සතුව මුල සිටම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට මුහුණ දීමේ සැලැස්මක් තිබූ අතර ඔවුන් හැකි සෑම අවස්ථාවක දී ම ස්වීප් පහර සහ රිවර්ස්-ස්වීප් පහර එල්ල කරමින් පන්දු යවන්නන් මැඩලීමට උත්සාහ ගත්හ. එය ඔවුන්ට පළමු එක්දින තරගය ජය ගැනීමට සුපිරි අවියක් බවට පත්වූ නමුත් අද තරගයේ දී එම අවිය ඔවුන්ගේ දෙසටම එල්ල වනු දැක ගන්නට ලැබුණි. ඒ අද සිම්බාබ්වේ පිතිකරුවන් කිහිප දෙනෙකුම එවැනි පහරවල් වලට උත්සාහ දැරීමේ දී තම කඩුල්ල අහිමි කර ගත් බැවිනි.

“අද තණතිල්ලෙන් පන්දු යවන්නන්ට කිසිම සහයෝගයක් නොලැබුණු නිසා අපි පුළුවන් තරම් උත්සාහ කළේ කඩුල්ල ඉලක්ක කරගෙන හැකිතාක් පන්දු යැවීමටයි. ඔවුන් ස්වීප් පහර සහ රිවර්ස්-ස්වීප් පහර එල්ල කරන අවස්ථාවන්වල දී වෙනස්කම් කරන එක අපිට අනිවාර්ය වුනා. කණ්ඩායමේ සෑම දඟ පන්දු යවන්නෙක්ටම අද තිබුනේ එකම එක සැලසුමයි. ඒ කඩුල්ල කෙලින් මන්දගාමී අයුරින් පන්දු යැවීමයි. ඒ වගේම පන්දු යැවීමේ දී හැකි උපරිමයෙන් සංයමය රඳවා ගැනීමටත් අපි උත්සාහ කළා. මං හිතෙන විදිහට ඔවුන් මගේ පන්දු හඳුනා ගැනීමේ දී ගැටලුවකට මුහුණ දුන්නා.” සඳකැන් පවසා සිටියි.

සඳකැන්ගේ පන්දුවාර 10 නිමා වීමෙන් අනතුරුව තවත් පා දඟ පන්දු යවන්නෙකු වන 19 වියැති වනිඳු හසරංග පන්දු යැවීම ආරම්භ කළ අතර වැඩිකල් නොයවාම සිම්බාබ්වේ ඉනිමේ නිමාව සනිටුහන් කරන්නට ඔහුට හැකියාව උදා විය. ඒ 34 වැනි පන්දුවාරයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ප්‍රථමයා මෙන්ම ලොව එවන් දස්කමක් ප්‍රකට කළ තෙවැන්නා බවට පත්වෙමිනි.

“දඟපන්දු යවන්නෙකු වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය කරන ඉතාමත් හොඳ පන්දු යැවීමේ විවිධත්වයක් වනිඳුට තිබෙනවා. ඔහු ඉතාමත්ම හොඳින් අද පන්දු යැවීමේ යෙදුණා. ඕනෑම ක්‍රීඩකයෙක් මංගල තරගයකට සහභාගි වන්නේ පීඩනයකින් යුතුවයි. නමුත් ඔහු එය කළමනාකරණය කරගෙන ගූග්ලි, ෆ්ලිපර් සහ පා දඟ පන්දු රැසක් මැනවින් එල්ල කළා.” සඳකැන් ඔහුගේ නව සහයකයාගේ දක්ෂතා අගය කර සිටියි.

හොඳ තත්වයේ පා දඟ පන්දු යවන්නෙකුට මුහුණ දෙන සාර්ථකම ක්‍රමය වන්නේ ඔහුගේ අත කරකැවෙන ආකාරය අනුව ලැබෙන පන්දුව කලින්ම වටහා ගැනීමයි. තණතිල්ලේ පන්දුව ගැටීමෙන් අනතුරුව දඟ කැවෙන පන්දුව තෝරා ගැනීම ඉතාමත් අපහසු කරුණකි. සඳකැන්ගේ පන්දු යැවීමේ ප්‍රධාන විවිධත්වයන් තුනක් දැකිය හැකි අතර ඒ වේගයෙන් එල්ල කරන පන්දුව, සාමාන්‍යය පා දඟ පන්දුව සහ ගූග්ලි පන්දුවයි. ද මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කර පසුව ලොවක් හඳුනන චයිනමන් පන්දු යවන්නෙකු බවට පත්වුණු ලක්ෂාන් සඳකැන්ට අද එම ආයුධ වලින් පහර දී සිම්බාබ්වේ පිළ දණ ගැස්වීමට අවස්ථාව උදාවිය.

“ඇත්ත වශයෙන්ම අපේ කණ්ඩායමට ඔහුගේ පන්දු හරිහැටි හඳුනා ගැනීමට හැකිවුනේ නැහැ. ඔහු අපි හිතුවාටත් වඩා සෑහෙන වෙනස් ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහු අපිට ආගන්තුක වුනා යැයි කිව්වොත් නිවැරදියි. අපේ පිතිකරුවන් ඔහුට එරෙහිව සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත්තත් ඔහු යැවූ කඩුලු දවා ගත හැකි ආකාරයේ විශිෂ්ට පන්දු කිහිපය නිසා ඉනිමේ මැද කොටසේ දී අපි අසරණ වුනා. ඉදිරි තරගවල දී අපි ඔහුගෙන් ප්‍රවේසම් විය යුතු වනවා.” සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් සඳකැන්ගෙන් තම කණ්ඩායමට සිදුවුනු හිරිහැරය විස්තර කරමින් කියා සිටියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට