මෙවර ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අවසන් දිනයේ දී ප්‍රසාද ලකුණු සටහනේ 5 වන සහ 6 වන ස්ථාන වල පසු වූ ගුවන් හමුදාව සහ යුධ හමුදාව තරග වැදුනේ 5 වන ස්ථානයේ අයිතිය තහවුරු කර ගැනීම සඳහායි. CR & FC ක්‍රීඩාංගණයේ පැවතී මේ තරගය ලකුණු 43 – 26ක් ලෙස ජය ගන්නට ගුවන් හමුදාව සමත් විය.

ලීග් අනුශූරයන්ටත් සුපිරි සමුගැනීමේ සාදයක්

මෙවරත් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය තුල විශිෂ්ට දස්කම් ප්‍රකට කරමින් මහනුවර කණ්ඩායමට පමණක් දෙවැනිව තරගාවලිය අවසන් කල කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර ලීග් තරගාවලියේ අවසන් තරගය ද ජයග්‍රහණයකින් ම කෙලවර කරන්නට සමත් විය.

මෙම කණ්ඩායම් දෙක අතර පළමු වටයේ පැවති තරගය ලකුණු 32 – 29ක් ලෙස ජය ගැනීම සඳහා ගුවන් හමුදාවට තියුණු සටනක් දීමට සිදුවුණු බැවින් මෙම තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු විය.

ගයාන් සාලින්දගේ පා පහරින් තරගය ආරම්භ වුනේ දැඩි හිරු රැස් සහිත උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේයි. ආරම්භයේදීම තම ආක්‍රමණය දියත් කල ගුවන් හමුදා ක්‍රීඩකයන් වෙනුවෙන් කෞෂාල් මනුප්‍රිය යුධ හමුදාවේ අලස ආරක්ෂක පෙළ බිඳ දමමින් මීටර් 30ක් පමණ පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ඔහුගෙන් පන්දුව භාරගත් රුමේෂ් රාම්දාස් පළමු උත්සාහක දිනුමේ හිමිකාරීත්වය ලැබීය. නායක ගයන්ත ඉද්දමල්ගොඩ සාර්ථක ප්‍රවර්තනයකින් අතිරේක ලකුණු ද එක් කරන්නට සමත් විය. (යුධ හමුදාව 00 – 07 ගුවන් හමුදාව)

පළමු අභියෝගයෙන් පසු නැවත සංවිධානය වූ යුධ හමුදා ක්‍රීඩකයන් මිනිත්තු 10ක් පමණ ගුවන් හමුදා කලාපය තුල දැඩි ආක්‍රමණයක් දියත් කළ අතර අවසානයේ ගුවන් හමුදා ආරක්ෂක පෙළ අතරින් හිඩැසක් සොයා ගත් ධනුෂ්ක තල්වත්ත යුධ හමුදා ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවීය. ගයාන් සාලින්ද සාර්ථක ප්‍රවර්තනයක් එල්ල කලේ ලකුණු තත්ත්වය ද සම කරමිනුයි. (යුධ හමුදාව 07 – 07 ගුවන් හමුදාව)

ගුවන් හමුදා ක්‍රීඩකයින් යලිත් තරගයේ වාසිය තම කණ්ඩායම වෙත හරවා ගත්තේ නායක ගයන්ත ඉද්දමල්ගොඩ නිසි පරිදි ක්‍රියාත්මක කල සැලසුමකට අනුව ලබාගත් උත්සාහක දිනුමක් ඔහු විසින්ම ප්‍රවර්තනය කිරීමත් සමඟයි. (යුධ හමුදාව 07 – 14 ගුවන් හමුදාව)

තරගයේ ඊළඟ මිනිත්තු කිහිපය තුල ගුවන් හමුදාව තවත් උත්සාහක දිනුම් 2ක් වාර්තා කරන්නට සමත් විය. සාරක වැරැල්ල මීටර් 50ක් පමණ තනිව දිව ගොස් තම පළමු උත්සාහක දිනුමට හිමිකම් කියද්දී, පිටියේ කෙළවරකට යොමු කල පන්දුව සීමා ඉරෙන් එපිටට ගෙන යමින් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට රුමේෂ් රාම්දාස් සමත් විය. (යුධ හමුදාව 07 – 24 ගුවන් හමුදාව)

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුල වික්ටර් ප්‍රදීප් යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් ලකුණු පරතරය අඩු කරගන්නට සමත් වුවත්, එහි ප්‍රවර්තනය සාලින්දගෙන් ගිලිහී යන ලදි.

පළමු අර්ධය: යුධ හමුදාව 12 – 24 ගුවන් හමුදාව

යුධ හමුදාව දෙවන අර්ධයේ ආරම්භයත් සමඟම ලකුණු අතරට පැමිනියේ සුරම්‍ය හේරත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟයි. ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය 5ක් දක්වා අඩු කරන්නට සමත් විය. (යුධ හමුදාව 19 – 24 ගුවන් හමුදාව)

ගුවන් හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මග විවර කල කෞෂල් මනුප්‍රිය තමන්ගේ නම ඉදිරියේ ද ලකුණු සටහන් කර ගත්තේ ගෝල කණු අතරින්ම පන්දුව පතිත කරමිනුයි. ඉද්දමල්ගොඩගේ ප්‍රවර්තනය මෙවරද සාර්ථක විය. (යුධ හමුදාව 19 – 31 ගුවන් හමුදාව)

යුධ හමුදාව යලිත් ප්‍රතිවාදීන් හට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කල ද ගුවන් හමුදා ක්‍රීඩකයන් තම ආරක්ෂක සංවිධාන ස්ථාවරව පවත්වා ගන්නට සමත් විය. යුධ හමුදා ආක්‍රමණය සාර්ථකව මැඩ පැවැත්වීමෙන් පසු ප්‍රතිප්‍රහාරය එල්ල කල නිලන්ත ජයවීර යුධ හමුදා අන්තයේ ගෝල කණු අතරින්ම පන්දුව රැගෙන ගිය අතර ඉද්දමල්ගොඩගේ ප්‍රවර්තනය මෙවරද වැරදුනේ නැත. (යුධ හමුදාව 19 – 38 ගුවන් හමුදාව)

අවසන් මිනිත්තු 10 තුල කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම බැගින් වාර්තා කරන ලදි. සංජීව හපුගස්කුඹුර යුධ හමුදාව වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිනුම ප්‍රවර්තනය කරන්නට ගයාන් සාලින්ද සමත් වුවත් පුෂ්පකුමාර සමරහේවාගේ උත්සාහක දිනුමට අතිරේක ලකුණු එක් කරන්නට ගුවන් හමුදා නායක ඉද්දමල්ගොඩ අපොහොසත් විය.

අවසන් ප්‍රවර්තනය අසාර්ථක වුවත් විනිසුරු අරුණ රන්කොත්ගේ තරග අවසන් සංඥාව නිකුත් කරන විට ගුවන් හමුදා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය මෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය ද තහවුරු කරගෙන තිබුණි.

අවසන් ලකුණු තත්ත්වය: යුධ හමුදාව 26 – 43 ගුවන් හමුදාව

ThePapare.com තරගයේ වීරයා: රුමේෂ් රාම්දාස් (ගුවන් හමුදාව)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

යුද හමුදාව –

  • උත්සාහක දිනුම් : ධනුෂ්ක තල්වත්ත, සුරම්‍ය හේරත්, වික්ටර් ප්‍රදීප්, සංජීව හපුගස්කුඹුර.
  • ප්‍රවර්තන : ගයාන් සාලින්ද (3)

ගුවන් හමුදාව –

  • උත්සාහක දිනුම් : රුමේෂ් රාම්දාස් (2), ගයන්ත ඉද්දමල්ගොඩ, සාරක වැරැල්ල, කෞෂාල් මනුප්‍රිය, නිලන්ත ජයවීර, පුෂ්පකුමාර සමරහේවා.
  • ප්‍රවර්තන : ගයන්ත ඉද්දමල්ගොඩ (4)

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට