ශූරතාවය යුද හමුදාවට

216

අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ පළමු වටයේ තරග කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් ඊයේ දිනයේ දී (04) හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ඒ අනුව අවසන් මහා තරගයේ දී නාවික හමුදා කණ්ඩායම ලකුණු 07 (1T, 1C) – 05 (1T)ක් ලෙස පරාජයට පත්කළ යුද හමුදා කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. තරගාවලියේ දෙවන වටයේ තරග මෙම මස (ජුනි) 25 වන දින පැවැත්වෙනු ඇත.

>>ජයග්‍රහණය නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායමට

තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් 10 කාණ්ඩ 04කට බෙදා දක්වා තිබුණි. කාණ්ඩ තරග වට අවසානයේ සෑම කාණ්ඩයකම පළමු හා දෙවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර අවසන් ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් දෙක පළිහ ශූරතාවයේ අර්ධ අවසන් තරග වටය සඳහා යොමුකෙරේ.  

ශූරතා කුසලානය සඳහා පැවති අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල

  • CR & FC A කණ්ඩායම 48 (8T, 4C) – 00 ඌව පළාත් කණ්ඩායම
  • යුද හමුදා කණ්ඩායම 62 (10T, 6C) – 00 CR & FC B කණ්ඩායම
  • ගුවන් හමුදා කණ්ඩායම 40 (6T, 5C) – 00 සබරගමුව පළාත් කණ්ඩායම
  • නාවික හමුදා කණ්ඩායම (10T, 7C) – 00 දකුණු පළාත් කණ්ඩායම

මෙම අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජයට පත්වූ කණ්ඩායම් බඳුන කුසලානය සඳහා වන අර්ධ අවසන් තරග වටයට යොමු කෙරුණු අතර එහි දී ජයග්‍රහණය කළ කණ්ඩායම් ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලැබීය.

බඳුන කුසලානය සඳහා පැවති අර්ධ අවසන් වටයේ ප්‍රතිඵල

  • CR & FC B කණ්ඩායම 10 (2T) – 05 (1T) ඌව පළාත් කණ්ඩායම
  • දකුණු පළාත් කණ්ඩායම 07 (1T, 1C) – 05 (1T) සබරගමුව පළාත් කණ්ඩායම

ඉන් අනතුරුව ශූරතා කුසලානය සඳහා වන අර්ධ අවසන් තරග වටයේ තරග විදුලි ආලෝකය මධ්‍යයේ පැවති අතර එහි දී ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක තරගාවලියේ ශූරතා කුසලානය සඳහා අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර පරාජයට පත්වන කණ්ඩායම් දෙක පළඟ ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

ශූරතා කුසලානය සඳහා පැවති අර්ධ අවසන් වටයේ ප්‍රතිඵල

  • යුද හමුදා කණ්ඩායම 53 (9T, 4C) – 00 CR & FC A කණ්ඩායම
  • නාවික හමුදා කණ්ඩායම 10 (2T) – 07 (1T, 1C) ගුවන් හමුදා කණ්ඩායම

පළිහ ශූරතාවය සඳහා පැවති අර්ධ අවසන් තරගවල දී මධ්‍යම පළාත් කණ්ඩායම ලකුණු 17 (3T, 1C) – 00ක් ලෙස ඌව පළාත් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ අතර වයඹ පළාත් කණ්ඩායම ලකුණු 14 (2T) – 00ක් ලෙස සබරගමුව පළාත් කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

අවසන් තරග වල ප්‍රතිඵල

පළිහ ශූරතාවය සඳහා පැවති අවසන් තරගය

  • ඌව පළාත් කණ්ඩායම 15 (3T) – 10 (2T) සබරගමුව පළාත් කණ්ඩායම

බඳුන ශූරතාවය සඳහා පැවති අවසන් තරගය

  • දකුණු පළාත් කණ්ඩායම 10 (2T) – 00 CR & FC B කණ්ඩායම

පළඟ ශූරතාවය සඳහා පැවති අවසන් තරගය

  • ගුවන් හමුදා කණ්ඩායම 24 (2T, 2C) – 00 CR & FC A කණ්ඩායම

ශූරතා කුසලානය සඳහා පැවති අවසන් මහා තරගය (යුද හමුදා කණ්ඩායම – නාවික හමුදා කණ්ඩායම)

නාවික හමුදා කණ්ඩායම විසින් අවසන් මහා තරගය ආරම්භ කළ අතර තරගයේ පළමු අර්ධය පුරාවට පන්දුව වැඩි වේලාවක් තමන් සතුව තබා ගනිමින් ක්‍රීඩා කරන්නට නාවික හමුදා ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව නාවික හමුදා කණ්ඩායමේ දිල්රුක්ෂි කුමාරි යුද හමුදා කණ්ඩායමේ පසුපෙළ බිඳ දමමින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. පළමු අර්ධයේ නිමාවට පෙර ලකුණු ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම යුද හමුදා ක්‍රීඩිකාවන්ට හිමිවුවත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: නාවික හමුදා කණ්ඩායම 05 (1T) – 00 යුද හමුදා කණ්ඩායම

යුද හමුදා ක්‍රීඩිකාවන් තරගයේ දෙවන අර්ධය ආරම්භ කළ අතර එහි දී එල්ල කළ පහර මීටර 10 ක දුරක් නොයාම හේතුවෙන් වැඩි වේලාවක් පන්දුව රඳවා ගනිමින් ක්‍රීඩා කරන්නට නාවික හමුදා කණ්ඩායම සමත් විය. දෙවන අර්ධය ආරම්භයේ ලකුණු ලබාගැනීමට ලැබුණු අවස්ථාවන් සාර්ථක කරගන්නට නාවික හමුදා ක්‍රීඩිකාවන් අසමත් විය.

මිනිත්තු කිහිපයකින් අනතුරුව යුද හමුදා කණ්ඩායමේ අයේෂා පෙරේරා වේගයෙන් පන්දුව රැගෙන යමින් යුද හමුදා කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කරගන්නට දිනේෂිකා මුණසිංහ සමත් වූ අතර ඒත් සමඟින් තරගයේ පෙරමුණ ගන්නට යුද හමුදා කණ්ඩායම සමත් විය. අනතුරුව තරගයේ අවසානය දක්වා පෙරමුණේ රැඳුණු යුද හමුදා කණ්ඩායම අන්තර් සමාජ කාන්තා සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේ පළමු වටයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

දෙවන අර්ධය: නාවික හමුදා කණ්ඩායම 05 (1T) – 07 (1T, 1C) යුද හමුදා කණ්ඩායම

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – අයේෂා පෙරේරා (යුද හමුදා කණ්ඩායම)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට