හඬමින් සිටි ශ්‍රී ලංකාවට, විල්වරගෙන් ලේන්සුවක්

11069
Anurudda Wilwara

හොං කොං හිදී පැවැත්වෙන ලෝක කුසලාන සත්සාමාජික තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී හොං කොං කණ්ඩායම හමුවේ 31-05ක් ලෙස පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. දිනයේ පළමු තරගයේ දී ද ශ්‍රී ලංකාව චිලී දේශය හමුවේ ලකුණු 38-00ක් ලෙස පරාජය ලැබූ අතර ශ්‍රී ලංකාව, දිනය තුළ වාර්තා කළ එකම උත්සාහක දිනුමට අනුරුද්ධ විල්වර හිමිකාරීත්වය දැරුවේය.

ඩී. එස්. විදුහල කොළ පාටින් සායම් කළ ඉසිපතන මෙහෙයුම

ලකුණු 69-13ක් වශයෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කළ ඉසිපතන විදුහල් රග්බි කණ්ඩායම, පාසල් රග්බි ලීගයේ සයවැනි සතියේ සිය ආධිපත්‍ය තහවුරු කළේය.

පසුගිය මාසයේ දී බෝර්නියෝ හිදී පැවති සත්සාමාජික රග්බි තරගාවලියේදීත්, ශ්‍රී ලංකාව හොංකොං කණ්ඩායම හමුවේ පරාජය වූයේ 31-00ක් වශයෙනි.

පීටර් වුඩ්ගේ පුහුණුව යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා උපක්‍රම වල පැහැදිලි වෙනසක් මෙම තරගයේ දී දැකිය හැකිවුවත්, ඉන් පන්දුව තමා සන්තකයේ තබා ගැනීම විනා ප්‍රතිවාදීන්ගේ පිටිය ආක්‍රමණය කිරීමක් දක්නට නොලැබිණි. යොදාගත් උපක්‍රමය මඟින් පිටියේ අන්ත දෙකේ ඉඩ නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවත් හොං කොං කණ්ඩායමේ ශක්තිමත් ආරක්ෂකයන් හා තරඟ වැදීමට අවශ්‍ය ජවය හෝ වේගය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව නොතිබුණේය.

පළමු අර්ධය අවසන් වීමට මත්තෙන් රෝවන් වාටි විසින් හොං කොං කණ්ඩායමට එක් උත්සාහක දිනුමක් ද, බෙන්ජමින් රෙමිනි විසින් උත්සාහක දිනුම් දෙකක් ද එක්කරන ලදී.

දෙවන අර්ධයේ දී වැඩි කාලයක් පුරාවට තමා අත පන්දුව හැසිරවූ හොං කොං ක්‍රීඩකයන් මැක්ස් වුඩ්වර්ඩ් මඟින් උත්සාහක දිනුම් දෙකක් ලබා ගත්තේ අසාර්ථක ශ්‍රී ලංකා ආරක්ෂක පද්ධතිය හොඳින් හඳුනා ගනිමිනි.

තරඟයේ 12 වැනි මිනිත්තුවේ දී අතිරේක ක්‍රීඩක බංකුව හැරදා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩා සමාජයේ අනුරුද්ධ විල්වර, සුපුරුදු පරිදි වේගවත් ධාවනයක් දියත් කරමින් තම ප්‍රතිවාදියා පසුකොට මීටර 80ක් පමණ දිවගොස් වැදගත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. ඔහු ඒ වාර්තා කළේ දිනය තුළ සහභාගී වූ තරග දෙකේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ එකම උත්සාහක දිනුමයි.

ශ්‍රී ලංකාව “F” කාණ්ඩය වෙනුවෙන් සහභාගී වන අවසන් තරගය හෙට (8) උදේ 7.58ට නැම්බියා කණ්ඩායමට එරෙහිව ආරම්හ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව චිලී දේශය

Screenshot (23)ලතින් ඇමරිකානු කණ්ඩායමක් වන චිලී සත්සාමාජික රග්බි කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව දිනය ආරම්භ කළේ අසතුටුදායක අන්දමිනි. එහිදී ලකුණු 38-00ක් ලෙස චිලී කණ්ඩායම ජය ගත්තේ පළමු අර්ධයේ දී 12-00ක් ලෙස ලබා සිටි පරතරය තෙගුණ කරගනිමිනි.

ප්‍රතිවාදී ආරක්ෂක පෙළ බිඳලන්නට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ෆසිල් මරීජා, එක්වරක් පිටිය මැදින් වේගවත් ධාවනයක් සිදු කළ නමුත් අවට ඔහුගේ සහයට කිසිදු ක්‍රීඩකයෙක් නොසිටි අතර පන්දුව සොරා ගත් චිලී ක්‍රීඩකයන් මීටර 60ක් පමණ දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය.

ධනුෂ්ක රන්ජන් අතට පන්දුව ලැබුණු බොහෝ අවස්ථාවල දී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔහු ඉදිරියට ගියත් ප්‍රතිවාදීන්ගේ අභියෝගය ඔහුට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය. චිලී ක්‍රීඩකයන්ගේ කාය ශක්තිය හමුවේ ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස පරාජය වූ අතර චිලී ක්‍රීඩකයන්ට නිදහසේ සැරිසැරීමට අවශ්‍ය පුළුල් ඉඩක් ඔවුන් විසින් නිර්මාණය කරදෙනු ලැබිණි.

මේ අතර, “F” කාණ්ඩය තුළම පැවති තවත් තරගයක දී හොංකොං කණ්ඩායම 22-07ක් ලෙස නැමීබියාව පරාජය කළේය.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට