ඉතිහාසයේ පළමු මෙක්සිකානු ලෝක ශූරයා හමුවේ ජෝෂුවා බිම වැටෙයි

217

තරග 22ක දී අපරාජිත, එමෙන්ම ඉන් තරග 21ක්ම නොක් අවුට් ආකාරයෙන් ජය ගත් ලෝක ශූර බොක්සිං ක්‍රීඩක ඇන්තනී ජෝෂුවාගේ ලෝක ශූර ගමනට ඊයේ නැවතීමක් සටහන් කෙරිණි. මෙක්සිකානු ජාතික ආන්ද්‍රේ රුයිස්, නැතහොත් ඇන්ඩි රුයිස් ඔහුව පරදවා ඊයේ (ඇමරිකානු දිනය ජුනි 01) ලෝක ශූරතාවය දිනා ගත්තේය.

තරගය පැවැත්වුණේ මැඩිසන් ස්ක්වෙයා ගාඩ්න් හිදීයි. උස, මනා ශරීර සම්පත්තියකින් සහ දක්ෂතාවලින් හෙබි ඇන්තනී ජෝෂුවා තරගය ආරම්භ වන්නටත් පෙර සිටම විචාරකයන්ගේ ජයග්‍රාහකයා විය. තරගය ඇරඹී තෙවැනි වටය ගතවෙද්දී රුයිස් හට වැදුණු පහරකින් ඔහු බිම ඇද වැටුනේය. කිසිවෙකුත් පුදුම වූයේ නැත. නමුත් මීළඟට සිදු වූ සියල්ල පුදුම සහගතය.

Video – ලෝහමය බාහු වලින් මුහුණු තලන්නා – Mike Tyson

මයික් ටයිසන්, ජීවිතාභියෝග රැසකට මුහුණ දුන් චරිතයකි…….

විනිසුරුගේ තත්පර 10 ගණන් කිරීම තුළ නැගී සිටි රුයිස් ජෝෂුවා හට පහරක් එල්ල කරමින් ඔහුව බිම හෙළන්නට සමත් විය. එම වටය තුළ දී ජෝෂුවා දෙවරක් බිම ඇද වැටුණි. එතැන් සිට රුයිස් වැඩි වාසි තම අත දරා ක්‍රීඩා කරන්නට විය. ශරීරයෙන් ජෝෂුවා තරම් හැඩකාරයෙකු නොවුනත් රුයිස් හට ආධුනික බොක්සිං වලින් ලැබුණු හැකියාවක් තිබිණි. ඒ දෑත් වල වේගයයි.

තරගයේ හත්වැනි වටය තුළදීත් ජෝෂුවාව දෙවරක් බිම හෙළු රුයිස් සාර්ථක විය. ජෝෂුවා තමන්ගේ කෝණයට ගොස් තාක්ෂණික නොක් අවුට් ජයග්‍රහණයක් (TKO) රුයිස් හට හිමිකර දුන්නේය. වෘත්තීය හෙවිවෙයිට් බොක්සිං ඉතිහාසයේ මෙක්සිකානු සම්භවයක් සහිත ක්‍රීඩකයෙකුට ශූරතාවය හිමි වූ පළමු අවස්ථාව මෙය වේ.

ශරීරයෙන් වෙනස් වුවත් සූදානමින් ඇන්ඩි රුයිස් ඉදිරියෙන් සිටියේය. – sky sports

මම දෙවියන්ට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. මගේ ඇඟේ මෙක්සිකානු ලේ තමයි දුවන්නේ.” රුයිස් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කීවේය. සටන්කාමී මෙක්සිකානුවෙකු ලෙස ක්‍රීඩා කළ රුයිස්, මෙම තරගයට පැමිණියේ වෙනත් ක්‍රීඩකයෙකුගේ හිඩැසක් පිරවීමට ය. ඒ අතින් බැලූ කල එය ජෝෂුවා ඉතා පහසුවෙන් තැකූ තරගයකි.

කෙසේ නමුත් සියලු බොක්සිං ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් පළමු වරට ජෝෂුවා වෘත්තීය නොක් අවුට් පරාජයක් ලැබුවේය. ඔහුට දිගින් දිගටම අභියෝග කරමින් සිටියත් අවස්ථාවක් නොලද WBA ශූර ඩියොන්ටේ වයිල්ඩර් හට දැන් WBO ශූරතාවය සඳහා අවස්ථාවක් ලැබෙනු ඇතැයි බොක්සිං ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වේ. ඒ වත්මන් ලෝක ශූරයා ඇන්තනී ජෝෂුවා හමුවන දෙවැනි තරගයෙන් අනතුරුවයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<