සුගතදාස ධාවන පථය නවීකරණය තවත් කල් යයි?

165

පසුගිය දා අවසන් වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 5 ක් දිනා ගනිමින්, රටවල් 22ක් අතරින් 9 වන ස්ථානය දිනා ගනිමින් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට නිසි ප්‍රමිතියේ ධාවන පථයක් පවා නොමැති නිසා ඔවුන් ලබාගත් මෙම ජයග්‍රහණය සුවිශේෂී එකකි.

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය දිනේෂ්ට රිදී පදක්කමක්

එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවේ …

වාර්තා වන අන්දමට ටෙන්ඩර් පටිපාටියේ දී එය අහිමි වූ ඉල්ලුම්කරුවෙක් ටෙන්ඩර් පටිපාටියට විරුද්ධව ටෙන්ඩර් ඇගයීම් කමිටුව වෙත (PBA) පැමිණිල්ලක් ගොනු කර ඇත. ඒ අනුව සුගතදාස ක්‍රීඩා පිටියේ ධාවන පථය නවීකරණය කිරීම මෙම වසරේ දී මෙවන් සිදුවීමක් නිසා ප්‍රමාද වන්නේ දෙවන වරට ය. මේ වන විටත් ඉල්ලුම්කරුවකු තෝරා ගැනීමේ කටයුතු අවසන් කර ඇති බැවින් පරීක්ෂණයක් පවත්වා එය අවසානයේ ටෙන්ඩර් ඇගයීම් කමිටුව වෙත පහත තීරණ තුනෙන් එකක් ගැනීමට හැකියාව ඇත.

  • නැවතත් ටෙන්ඩර් කැඳවීම
  • එය පරාජයට පත්වුණු ඉල්ලුම්කරුවාට ලබා දීම
  • මේ වන විටත් එය ලබා දී ඇති ඉල්ලුම්කරුවාට එය සිදු කිරීමට ඉඩදීම

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උපහාර පිදීමේ උළෙලේ දී ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඔවුන්ට පොරොන්දුවක් ලබා දෙමින් පවසා සිටියේ මෙම වසරේ නොවැම්බර් මාසයේ අවසානය වන විට සුගතදාස ක්‍රීඩාංගණයේ ‘සින්තටික්’ ධාවන පථය ඉදිකිරීම අවසන් කොට ඔවුන්ට බාරදෙන බවයි. මෙහි වර්තමාන තත්වය පිළිබඳව විමසීම සඳහා ගරු ක්‍රීඩා අමාත්‍යවරයාව සම්බන්ධ කර ගැනීම සඳහා Thepapare.com කටයුතු කළේය.

“ඔව් පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තියෙනවා. නිසි ක්‍රියා පටිපාටියට අනුව අපි ඒක මේ වන විට ටෙන්ඩර් ඇගයීම් කමිටුව වෙත යවලා තියෙන්නේ.” ඉදිරිපත් වූ පැමිණිල්ල පිළිබඳව විමසූ විට ක්‍රීඩා අමාත්‍යවරයා එසේ පැවසීය.

ඒ හේතුවෙන් මෙම වසරේ දී ධාවන පථයේ වැඩකටයුතු අවසන් කිරීම ප්‍රමාද වේ දැයි විමසා සිටි විට ඔහු පැවසුවේ,

“නෑ ඒක ප්‍රමාද වෙන්නේ නැහැ. ටෙන්ඩර් පටිපාටියට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් වුනත් අපි ටෙන්ඩරය ලබා දුන්නේ හරි ක්‍රමයට. ඒ නිසා ටෙන්ඩර් ඇගයීම් කමිටුව පුළුවන් ඒ අපි ලබා දුන්න ඉල්ලුම්කරුවාටම ඒක සිදු කරන්න අවස්ථාව ලබා දෙන්න. ප්‍රමාදයක් සිදු වෙනවා නම් සිදු වෙන්නේ ටෙන්ඩරය අභියාචනය කළ ඉල්ලුම්කරුවාට ලබා දුන්නොත් හරි නැත්නම් අලුතින් ටෙන්ඩර් කැඳවන්න තීරණය කළොත්.”

කෙසේ නමුත් ලබන වසරේ දී ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් මෙන්ම නිලධාරීන් ද ඉහළ බලාපොරොත්තු රඳවා ගෙන සිටින බැවින් ලබන වසර ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වසරක් වනු ඇත. එමෙන්ම මෑත කාලයේ දී ඔවුන් දැක්වූ දස්කම් හේතුවෙන් එසේ බලාපොරොත්තු තබා ගැනීම ද සාධාරණ ය. එමනිසා මතකයේ තබා ගත කරුණ වන්නේ එසේ ලබන වසරේ දී ආසියානු තලයේ දී හෝ ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් මෙම වසර අවසානය වන විට නිසි ප්‍රමිතියෙන් යුතු එක ධාවන පථයක් හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

මෙවන් සිදුවීම් නිසා ශ්‍රී ලංකාව තුළ නිරන්තරයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ කැපවීමට බාධා එල්ල වන අතර ඒ තුළින් ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ද බිඳ වැටේ. එමනිසා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම සඳහා තමන්ගේ දිවියෙන් වැඩි කාලයක් කැප කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයක් පිරිනැමීමට අපොහොසත් වීම ජාතික අපරාධයකි.

ශ්‍රී ලංකාව තුළ ඇති අනෙක් ධාවන පථය ද මේ වන විට ඉතා අබලන් තත්වයේ පවතින අතර එහි දී නිරන්තරයෙන් ක්‍රීඩකයින් ආබාධවලට ද ලක්වේ. එමනිසා සුගතදාස ධාවන පථයේ නවීකරණයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ThePapare.com නිරන්තර අවධානයෙන් පසුවනු ඇත.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට