17න් පහල තරඟාවලිය එකම අලකලංචියක්

466
u17 championship

මෑතකදී අවසන් වු, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද 17න් පහල පාපන්දු තරඟාවලියේදීත්, 19න් පහල පාපන්දු තරඟාවලියේදීත් ඇතිවූවාක් මෙන්ම අවාසනාවන්ත අකරතැබ්බයන් රැසක් වාර්තා විය.

පසුගිය ලිපි: අහිමි වූ ගෞරවය යළි ලබා ගන්නට සහීරාවන් සමත් වෙයි

මේ, ඒ පිළිබඳව ThePapare.com විසින් සිදුකළ පසු විපරමකි.

පැවැත්වුණු කාල සීමාව.

තරඟාවලියට සහභාගී වූ බොහෝ ක්‍රීඩකයන් එළඹෙන දෙසැම්බර් මාසෙය්දී අ.පො.ස. සා.පෙල විභාගයට සුදානම් වන්නන් බැවින් ඔක්තෝබර් මාසය මෙවන් තරඟාවලියකට යොදා ගැනීම හේතුවෙන් රජයේ විභාගයකට එක්වීමත්, ප්‍රධාන ක්‍රීඩා තරඟාවලියකට එක්වීමත් යන කාර්යයන් දෙකම සමබරව කරගෙන යන්නේ කෙසේද යන්න ක්‍රීඩකයන්ට මහත් පීඩාවක් වන්නට ඇත.

මලියදේව බාලිකා විද්‍යාලීය පාපන්දු පුහුණුකරු එම්. සත්‍යරාජ් මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්විය.

“ගිය අවුරුද්දේ මේ තරඟාවලිය පැවැත්වුනේ නැහැ. මේ වසරේ තරඟාවලිය පැවැත්වීම ප්‍රශංසනීය වුණත් එය මීට වඩා කලින් කළා නම් වඩා හොඳ වෙන්නට තිබුණා. සා.පෙල විභාගය ලංවීමත් සමඟ ක්‍රීඩකයින් පුහුණුවීම් වලට ගෙන්වා ගැනීම අපහසු වුණත් සා.පෙල විභාගය කියන්නේ සුළු විභහගයක් නොවන නිසා ඒ ගැන ඔවුන්ට දොස් කියන්නටත් අපට බැහැ. දෙවන පාසල් වාරයේදී මේ තරඟාවලිය පැවැත්වීම තමයි හොඳම විකල්පය.”

සහීරා විද්‍යාලීය පුහුණුකරු මොහොමඩ් රූමි කියා සිටියේ,

“මගේ කණ්ඩායමට අවසන් දිනයේදී තරඟ 3ක් ක්‍රීඩා කරන්නට සිදුවුණා. මොවුන් තවම යෞවනයන්. ඔවුන්ගේ ශරීර යථා තත්වයට පැමිණීමට කාලය අවශ්‍යයි. අනවශ්‍ය ලෙස ඔවුන් වෙහෙසට පත්කිරීම සුදුසු නැහැ. ඉන් ඔවුන්ගේ ක්‍රීඩාවටත්, මානසික ස්වභාවයටත් බලපෑම් එල්ලවෙනවා. අඩු තරමින් දින 3ක් වත් තරඟාවලිය පැවැත්වුණා නම් ඉතා හොඳ බවයි මගේ අදහස.”

විනිසුරු තීන්දු.

තරඟාවලිය තුළ සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක් නම් විනිසුරු තීරණ යි. එවන් තීරණයක් නිසා තරඟාවලියේ සත්කාරකත්වය දැරූ පාසලක් වන කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහලට තරඟාවලියෙන් ද ඉවත්වීමට සිදුවිය.

සිද්ධිය ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ සාන්ත සෙබස්තියන් විදුහලේ පුහුණුකරු,

“මීගමුව සාන්ත මරියා විදුහල සමඟ පැවති තරඟයේ දෙවන අර්ධයේදී ඔවුන් වෙත දඬුවම් පහරක් ලබා දෙනු ලැබුවේ අපේ ගෝල රකින්නාට කහ කාඩ්පතත් නිකුත් කරමින්. සංඥාවට පෙර එය ලබා ගැනීම නිසා විනිසුරු නැවතත් ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නත් එසේ කළ ක්‍රීඩකයාට කහ කාඩ්පත පිරිනැමුවේ නැහැ. එසේ නැවත එල්ල කළ පහරත් දැලෙන් පිටට ගොස් අපේ ක්‍රීඩකයන් මීළඟ දිගු පහරට සුදානම් වෙන අවස්ථාවේ විනිසුරු කියා සිටියේ අපේ ගෝල රකින්නා සංඥාවට පෙර සීමා ඉරෙන් ඉදිරියට පැමිණි බවයි. එසේ වුණා නම් එය හරි, නමුත් එය නියම කළ යුත්තේ වරද සිදු වූ අවස්ථාවේදීමයි. නමුත් එහිදී නළාව නාද නොකළ විනිසුරු අතින් සංඥා කරමින් දඬුවම් පහරක් නැවත දෙන ලෙස කියා සිටියේ අපේ ක්‍රීඩකයන් දිගු පහරට යාමට සුදානම් වෙලත් ටික වේලාවකට පසුවයි. එහෙම විනිසුරුකරණයක ඇති තේරුම කුමක්ද?” යැයි ප්‍රශ්න කළේය.

ජාත්‍යන්තර පාපන්දු නීතියට අනුව සංඥාවට පෙර දඬුවම් පහර එල්ල කරන ක්‍රීඩකයාට කහ කාඩ්පතක් නියම නොකළත්, ගෝල රකින්නෙකු විසින් කරන අනවශ්‍ය මැදිහත්වීමකදී ඒ මොහොතේම වරද සංඥා කොට, පෙර පහරින් ගෝලයක් වාර්තා වූවත්, නැතත් නැවත දඬුවම් පහරකට යා යුතුය.

එසේ ඉක්මන් තීන්දුවකට යෑමේ නොහැකියාව විසින් ප්‍රශ්න කරන්නේ අදාල විනිසුරුවරයාගේ වෘත්තීය සුදුසුකම ය.

පිලිප් මහතා පැවසුවේ,

“ක්‍රීඩාංගනය තුළ සිටියේ නයිජීරියානු සමාජ කණ්ඩායමක ක්‍රීඩකයන් වූ සහය විනිසුරුවරුන් දෙදෙනෙකු සහ එක් ප්‍රධාන විනිසුරුවරයෙකුත් පමණයි. පාසල් පාපන්දු සංගමයට මෙවන් සමස්ත ලංකා තරඟාවලියක දී වත් වෘත්තීය විනිසුරුවරුන් කිහිපදෙනෙකු සොයා ගන්නට බැහැයි කියන්නේ විහිළුවක්. ඔවුන්ට අවශ්‍ය සම්පත් තිබියදී මෙහෙම හැසිරෙන්නේ ඇයි?”

වෘත්තීය සුදුසුකම් නැති ඕනෑම අයෙකු තරඟාවලියකට යොදා ගැනීම යනු විධායකයන්ගේ රාජකාරිය වුවමනාවෙන්ම පැහැර හැරීමේ බරපතල තත්වයකි. පාසල් පාපන්දු ක්‍රීඩාව නගා සිටුවීමේ වගකීම දරන පාසල් පාපන්දු සංගමය මෙසේ ක්‍රියා කිරීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ සිදුවන්නට යන පරිහානියක ලකුණුය.

සාන්ත පීතර විද්‍යාලීය පුහුණුකරු ඉසුරු පෙරේරා අදාළ සහය විනිසුරුවන්ගේ ගැටළුව ගැන මෙසේ තහවුරු කළේය.

“විනිසුරුකරණය අපේක්ෂාගත මට්ටමක තිබුණේ නැහැ. එක් අවස්ථාවකදී මා දුටුවා අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනෙකු සහය විනිසුරුවන් ලෙස පෙනී සිටින ආකාරය.”

“සමහර විනිසුරුවන් තරඟයක නීති රෙගුලාසිවත් හරියට දන්නෙ නැහැ. පිටියේ සීමා උල්ලංඝනය ගැන එවන් අවස්ථාවක් අපට උදාවුණා. ඒ ගැන ප්‍රශ්න කිරීමේදී සමහරු ‘මට ඒ ගැන අහන්න කිසිම අයිතියක් නැතැ’යි කියා මට අදහස් දැක්වීමටවත් ඉඩ දුන්නෙ නැහැ.”

“සංවිධානමය වශයෙන් ද තරඟාවලිය අතෘප්තිකරයි. ක්‍රීඩාව කෙරුණේ මිනිත්තු 25ක වගේ කාලයක්. සංවිධායකයන්ට ඕනේ කෙසේ හෝ තරඟාවලියක් පවත්වා නිම කිරීමටයි. ඒ වගේ තරඟාවලි වලට සහභාගී වීම ගැන පවා අපට දැඩිව හිතන්නට වෙනවා.”

නයිජීරියානුවන් දෙදෙනාට පසෙකින් තවත් විනිසුරුවන් නොවන ලාබාලයන් දෙදෙනෙකුද සහය විනිශ්චයේ යෙදෙනු දැකිය හැකි විය.

සහීරා විද්‍යාලීය පුහුණුකරු මොහොමඩ් රූමි විනිසුරුවන් ගැන පලකළේ මෙවන් අදහසකි.

“සාමාන්‍යයෙන් පාපන්දු සංගමය විසින් අඩු මුදලක් ගෙවලා තමයි මේ වගේ වයසින් අඩු අයව යොදාගන්නේ. ඒ වගේ කෙනෙකුගෙන් ලැබෙන එක තීරණයකින් මුළු කණ්ඩායමක ඉදිරි ගමන වැළකෙන්න පුළුවන්. පාසල් පාපන්දු සංගමය ගන්නා එවන් කෙටි තීරණවලින් තරඟාවලිය පමණක් නොවෙයි, මුළු ශ්‍රී ලංකා පාපන්දු ප්‍රජාවම පාඩු විඳිනවා.”

වාර්තා තබා ගැනීම.

වාර්තා තබා ගැනීමේදී සංවිධායකයන් දැක්වු අභාග්‍යවන්ත දුර්වලකම්ද, සාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගනයේදී කැපී පෙනුණි. වරක් පුවත් වාර්තාකරුවෙකු විසින් ප්‍රථම දිනයේ ලකුණු වාර්තාවක් ඉල්ලා සිටින විට පෙනී ගියේ එවන් වාර්තාවක්ද නැති බවයි. එය ලබා ගැනීමට පසු දින දක්වා සිටින්නට සිදු වූ අතර පසුදින හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට ගොස් ලබා ගත් වාර්තාව ද ප්‍රශ්න රැසකින් යුක්ත විය. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මඟින් පැවැත්වෙන එවන් ප්‍රධාන තරඟාවලියකදී ඉහල මට්ටමේ නිරවද්‍ය ලකුණු වාර්තාවක් තබා ගැනීමේ වැදගත්කම ඉතා හොඳින් සිහියට ගත යුතුවේ.

ක්‍රීඩාංගන වල තත්වය.

සුපුරුදු පරිදි ක්‍රීඩාංගනයේ ගැටලුවද මේ වසරේදීත් ඉස්මතු විය. සාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගනය කිසිදු අයුරකින් ක්‍රීඩා කිරීම සඳහා උචිත නොවූ අතර පේද්‍රිස් ක්‍රීඩාංගනයේ තරඟ පැවැත්වූයේ එකම ක්‍රීඩාංගනය දෙකට බෙදා ය.

මේ තරඟාවලිය 17න් පහල තරඟාවලියක් නිසාත්, මෙය සමස්ත ලංකා තරඟාවලියක් නිසාත් අප හුදක්ම බලාපොරොත්තු වන්නේ ඉදිරි තරඟාවලියේදී හෝ ක්‍රීඩාවට උචිත දිග පළලින් යුත් ක්‍රීඩාංගන ලබා දෙමින් පාසල් පාපන්දු සංගමය නිවැරදි සංවිධානය කටයුතු කරනු ඇති බවයි.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ මීළඟ පියවර තැබීම සඳහා ඉහත කරුණු දෙස අවධානයෙන් බැලීම සැබැවින්ම වටියි.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට