ශ්‍රී ලංකා සංචිතයේ සුක්කානම නැවතත් මැතිව්ස්ට

873

ලබන සතියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (09) නිල වශයෙන් ප්‍රකාශ කළ අතර එම තරගාවලියේ සිට සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවතත් ඇන්ජලෝ මැතිව්ස් හට පැවරී ඇත.

[rev_slider LOLC]

යෝග්‍යතාවය ගොඩදාගෙන මැතිව්ස් යළි නායකත්වයට?

සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා පත්කිරීම හෙට..

නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දොරේ හිදී පැවැත්වූ දෙවන තරගය අතරතුර දී මැතිව්ස් නැවතත් කලව ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ අතර පසුගිය දා (07) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටි මැතිව්ස් ඉන් සමත් විය. ඒ අනුව ඔහු 2019 වර්ෂයේ දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ඇත.

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා හා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී යළිත් නායකත්වය ලබාගත් මැතිව්ස් මෙසේ සිය අදහස් දක්වන ලදි.

“ප්‍රථමයෙන් මම නායකත්වයෙන් ඉවත් වුනේ, මම එවලේ හිතුවා නව නායකයෙක් අපිට ඕන කියලා. නමුත් ඉන්දීය සංචාරය ගිහින් ආවාට පස්සේ සභාපතිතුමා ඇතුළු නව පුහුණුකරු වන හතුරුසිංහ මහතා මෙන්ම තේරීම් කමිටුව ඉල්ලීමක් කළා නායකත්වය පිළිබඳව නැවත සිතා බලන්න කියලා.”

පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව තරග 3-2ක් ලෙස ලද පරාජයෙන් පසුව මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඉන්පසුව උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග හා තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔවුන් කිසිවකුට නායකයෙකු ලෙස සාර්ථක වීමට නොහැකි විය.

“මම නායකත්වය අත්හැරියේ ආයිත් එන්න බලාගෙන නෙමේ, නමුත් මට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් දේවල් ලබා දීලා තියෙනවා. ඒක නිසා මම මේ තීරණයට පිටුපෑවොත් මගේ අවුරුදු 10ක් වන ක්‍රිකට් ජීවිතයට කරන සාධාරණයක් නෙමේ කියලා මට හිතුණා.”

මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 98කට මුහුණ දී ඇති අතර ඒ අතරින් තරග 47ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 45ක් පරාජය වෙමිනි.

තිසරගේ ඔටුන්න ගැලවෙද්දී මැතිව්ස් – චන්දිමාල් ද්වන්ද සටනක

ඉදිරි කාලයේ දී එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීම..

“මම 2013 ඉඳලා 2016 වෙනකම් සෑම ආකාරයකම ක්‍රිකට් ක්‍රීඩා තරග වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළා, ඒකේ බලපෑම දැන් මගේ ශරීරයට දැනිලා තියනවා. නමුත් ඒ සඳහා දැන් මම මගේ කළමනාකරණය නිසියාකාරව කරගෙන යනවා. ඉදිරියේ දී පන්දු යවන්නෙක් ලෙස විශාල දායකත්වයක් ලබා දීමට සිදුවන්නේ නැහැ. නමුත් පන්දුවාරයක් දෙකක් දාන්න වුනොත් දානවා.” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා දිනේශ් චන්දිමාල් ද පැමිණ සිටි අතර එහි දී ඔහු මෙසේ අදහස් දක්වන ලදි.

“ගොඩක් සන්තෝසයි නැවතත් එක්දින කණ්ඩායමට එන්න පුළුවන් වෙච්ච එක ගැන. හතුරුසිංහ මහතා මා ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. එක්දින තරගවල මම ලකුණු අතර හිටියත් පසුගිය අවුරුද්ද තුළ මගේ යම් පසුබෑමක් තිබුණා. මෙම තරගාවලිය හොඳින් අවසන් කිරීමට හැකි වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත්කළ චන්දික හතුරුසිංහ මහතා පසුගිය මස 20 වැනිදා සිට සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර ලබන ජනවාරි 15 වැනිදා ආරම්භ වන බංගලාදේශ සංචාරය, හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පූර්ණ තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව වනු ඇත.

“අපිට දිගු කාලීන හා කෙටි කාලීන සැලසුම් කිහිපයක්ම තිබෙනවා. අපිට හොඳ තුන් ඉරියව් දස්කම් දක්වන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. බංග්ලාදේශය හොඳට සෙල්ලම කරනවා. ඒගොල්ලනගේ ක්‍රීඩකයින් දන්නවා ඒගොල්ලෝ මොනවද කරන්න ඕන කියලා. මමත් ඒක දන්න නිසා අපේ ක්‍රීඩකයින්ට ඒ ගැන යම් අවබෝධයක් දෙන්න මට පුළුවන්.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා පවසා සිටියේය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත බංගලාදේශ එක්දින ක්‍රිකට් සංචාරය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් මූලික පුහුණු සංචිතයක් නම් කරන ලදි.

එවැනි තීරණයක් ගෙන ඇත්තේ එළඹෙන සංචාරයට පෙර  නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට යම් කාලයක් එකට සිටීමට අවැසි නිසාවෙනි. මෙම මූලික පුහුණු සංචිතය සිය පුහුණුවීම් කටයුතු පසුගිය දෙසැම්බර් මස 28 වන දා සිට ආර්. ප්‍රේමදාස පිටියේ දී සාර්ථකව පැවැත්විය.

මාසයකට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාත්මක වන මෙම සංචාරයට ශ්‍රී ලංකාව, බංගලාදේශය හා සිම්බාබ්වේ යන කණ්ඩායම් සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් වේ. එය එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එහි අවසන් මහා තරගය ජනවාරි 27 වැනිදා ඩකා හිදී පැවැත්වෙනු ඇත.

බංගලාදේශය තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙවර සිය සත්කාරකත්වය දක්වන්නේ වසර 2010ට පසුවයි.

මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියට පසුව බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වන අතර, එම තරගාවලියට ටෙස්ට් තරග දෙකක් හා විස්සයි – විස්ස තරග දෙකක් අන්තර්ගතය. එම තරගාවලිය පෙබරවාරි 18 වැනිදා අවසන් වේ.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 13 වැනිදා දිවයිනෙන් පිටව යාමට නියමිතයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහාතා, උප සභාපති කේ. මතිවානන් මහතා, ප්‍රධාන විධායක නිළධාරි ඈශ්ලි ද සිල්වා මහතා, තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි යන නිළධාරින් පිරිසක් ද සහභාගි වී සිටියේය.

ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, දිනේශ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න , නිරෝශන් දික්වැල්ල, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, කුසල් මෙන්ඩිස්, අකිල ධනංජය, වනිඳු හසරංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුශ්මන්ත චමීර, ශෙහාන් මදුසංක.

සම්පුර්ණ තරග කාලසටහන

එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

  • ජනවාරි 15 වැනිදා බංගලාදේශය හා සිම්බාබ්වේ
  • ජනවාරි 17 වැනිදා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ
  • ජනවාරි 19 වැනිදා බංගලාදේශය හා ශ්‍රී ලංකාව
  • ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ
  • ජනවාරි 23 වැනිදා බංගලාදේශය හා සිම්බාබ්වේ
  • ජනවාරි 25 වැනිදා බංගලාදේශය හා ශ්‍රී ලංකාව
  • ජනවාරි 27 වැනිදා අවසන් මහා තරගය

(ඉහත තරග සියල්ලම ඩකා පිටියේ දී පැවැත්වේ)

ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය

  • ජනවාරි 31 සිට පෙබරවාරි 4 දක්වා පළමු ටෙස්ට් තරගය චිතගොන් පිටියේ දී
  • පෙබරවාරි 8 සිට 12 දක්වා දෙවන ටෙස්ට් තරගය ඩකා පිටියේ දී

විස්සයි – විස්ස තරගාවලිය

  • පළමු තරගය – පෙබරවාරි 15 ඩකා පිටියේ දී
  • දෙවන තරගය – පෙබරවාරි 18 ශිලාත් පිටියේ දී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<