ගජබා සුපර් ක්‍රොස් හිදී ආනන්ද වෙඩිසිංහට උපහාර

316

මීට මාස කිහිපයකට පෙර දැයෙන් සමුගත් ශ්‍රී ලංකාවේ යතුරු පැදි ධාවන පථය දික්විජය කළ ආනන්ද වෙඩිසිංහ මහතා හට ඔහු ශ්‍රී ලංකා පාපැදි ධාවන ක්ෂේත්‍රය වෙනුවෙන්, ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් කළ සේවය ඇගයීම සඳහා ගජබා සුපර් ක්‍රොස් 2017 තරගාවලියේ දී උපහාර පිදීමට සැලසුම් කර ඇත.

ගජබා සුපර් ක්‍රොස් 2017 තරගාවලිය පිළිබඳව අද (17) ශ්‍රී ලංකා විදුලි හා කාර්මික ඉංජිනේරු මූලස්ථානයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා යුද හමුදාවේ විධායක ජෙනරාල් සහ ගජබා රෙජිමේන්තුවේ කර්නල් , මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ ආනන්ද වෙඩිසිංහ මහතාට උපහාර දැක්වීම උදෙසා අභියෝගතා කුසලානයක් හඳුන්වා දෙන බවයි. ඒ අනුව මෙම අභියෝගතා කුසලානය ‘Group M Supermotard’ තරග අංශයේ සමස්ත ජයග්‍රාහකයා හට පිරිනැමෙනු ඇත. එමෙන්ම ගජබා රෙජිමේන්තුව විසින් ආනන්ද වෙඩිසිංහ මහතාගේ නමින් ප්‍රේක්ෂකාගාරයක් ද විවෘත කිරීමට නියමිත අතර එය මෙම මස 27 අනුරාධපුර සාලියපුර දී පැවැත්වෙන ගජබා සුපර් ක්‍රොස් තරගයේ දී විවෘත කෙරෙනු ඇත.

නුවරඑළිය මාර්ග ධාවන තරග අතරතුර දී අප්‍රේල් මස 27 වන දින ‘SM 450cc’ තරග ඉසව්වේ දී ආනන්ද වෙඩිසිංහ මහතා අනතුරකට ලක්වූ අතර අනතුරුව ඔහු කෝමා තත්වයකට පත්විය. ජීවිතාධාරක යන්ත්‍ර මඟින් සිටි ඔහු පසුව මහනුවර මහා රෝහලේ දැඩි සත්කාර ප්‍රතිකාර ඒකකය වෙත මාරු කර යැවූ අතර එහි දී ඔහු අප්‍රේල් මස 27 වන දින දැයෙන් සමු ගත්තේය.

මෙම සිදුවීම ශ්‍රී ලංකා මෝටර් සයිකල් සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ නුවරඑළිය මාර්ග ධාවන තරග අතරතුර දී සිදු වූ අතර මෙවන් අවාසනාවන්ත සිදුවීම් වැළැක්වීමට ගත යුතු ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල විය. 2008 වසරේ දී දිල්ශාන් බණ්ඩාරනායක ද ඔහුගේ ඔස්ටින් මිනි රථයේ දී මෙවන් මාරාන්තික අනතුරකට මුහුණ දුන්නේය. එමෙන්ම අනතුර සිදුවී මිනිත්තු 20කට වැඩි කාලයක් යනතුරු වෙඩිසිංහ මහතාව අනතුර සිදු වූ ස්ථානයෙන් ඉවත් කර රෝහලක් වෙත ගෙනයාමට කටයුතු සිදු කර නොමැති අතර පසුව ඔහුව රෝහල වෙත ගෙන ගොස් ඇත්තේ ද ගිනි නිවන බලකායේ ගිලන් රථයක් මඟිනි.

ඒ අනුව පුහුණුව ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමඟ ගිලන් රථයක් සූදානම් කර තැබීමට ද සංවිධායකයින් අපොහොසත් වී ඇත. එමෙන්ම අනතුර වූ ස්ථානය අසල සිටි ‘කෝනර් මාර්ෂල්වරයා’ සතුව සන්නිවේදන කට්ටලයක් ද තිබී නොමැති අතර තරගයේ ජයග්‍රාහකයා අනතුර පිළිබඳව අදාළ බලධාරීන්ව දැනුවත් කිරීමට ද කටයුතු කර ඇත. ඒ අනුව මෙම සිදුවීම නිසා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවන් තරගාවලිවල දී අනුගමනය කරනු ලබන ආරක්‍ෂක විධි විධාන පිළිබඳව ගැටලුකාරී තත්වයක් පැන නැඟුණු අතර ඒ නිසා එතැන් පටන් එම ක්‍රියාමාර්ග ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත.

කුමන ආකාරයේ ධාවන පථයක වුවද තම අණසක පැතිරවීමට සමත් වූ ආනන්ද වෙඩිසිංහ නාමය ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම යතුරු පැදි ධාවකයන් අතරට එක්වන බව නොඅනුමානය. ධාවන පථය තුළ දැක්වූ දක්‍ෂතාවලට අමතරව එතුමා නිහතමානී, විනෝදජනක චරිතයක් ලෙස ද කා අතරත් ප්‍රචලිත වී ඇත. ඒ අනුව එතුමාට උපහාර දැක්වීම සඳහා මේ ගනු ලබන ක්‍රියාමාර්ග සැබවින්ම වෙඩිසිංහ මහතා කළ සේවයට ගෞරව දැක්වීමකි.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට