මේ වසරේ සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන ආනන්ද කණ්ඩායම නාමිකව ගත් කල වඩාත් ප්‍රබල කණ්ඩායමයි. මෙවර තරග වාරය තුල තරමක් රළු ගමනක යෙදුණු නාලන්ද ක්‍රීඩකයන් අද (04) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන මහා ක්‍රිකට් ගැටුමේ දී තම දස්කම් උපරිම මට්ටමට ගෙන එන්නට වෙහෙසෙනු ඇති.

මහා ක්‍රිකට් තරග ඉතිහාසයෙන් බිඳක්

කීර්තිමත් අතීතයකට හිමිකම් කියන සුලෝහිත සංග්‍රාමයේ ආරම්භය 1924 වසර දක්වා ඈතට දිව යයි. ආනන්ද විද්‍යාලය මහා ක්‍රිකට් තරග ජයග්‍රහණ දුසිමකට (12) හිමිකම් කියද්දී, නාලන්දාවට හිමි වී ඇති ජයග්‍රහණ සංඛ්‍යාව ඉන් හරි අඩකි. ජය පැරදුම තීරණය වූ අවසන් සුලෝහිත සංග්‍රාමය 2003 වසරේ පැවති අතර එහි ජයග්‍රහණය හිමි වුණේ D කුලරත්නගේ නායකත්වයෙන් යුතු වූ ආනන්ද කණ්ඩායමටයි. නාලන්ද විද්‍යාලයේ අවසන් මහා ක්‍රිකට් තරග ජයග්‍රහණය මීට වසර 64කට පෙර වාර්තා කර ඇත්තේ W. W. සිල්වාගේ නායකත්වයෙන් යුතුව 1953 වසරේ තරග වැදුණු කණ්ඩායමයි.

මහා ක්‍රිකට් තරගයක වාර්තා වූ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස 2006 වසරේ ආනන්දීයයන් රැස් කළ ලකුණු 329 ඉතිහාස ගත වේ. 1997 වසරේ නාලන්දාව  වෙනුවෙන් ශාන්ත කලවිටිගොඩ වාර්තා කළ ලකුණු 149 සුලෝහිත සංග්‍රාමයේ හොඳම පෞද්ගලික පිතිකරණ දක්ෂතාව වන අතර ආනන්දය වෙනුවෙන් පෞද්ගලික හොඳම ඉනිම ලෙස 1999 වසරේ දී තිලිණ කණ්ඩම්බි ලකුණු 144ක් ලබාගෙන තිබේ. ඉනිමක හොඳම පන්දු යැවීමේ දක්ෂතාව ලෙස සටහන් වන්නේ 1975 වසරේ දී අනුර රණසිංහ ආනන්ද ක්‍රීඩකයන් 8 දෙනෙක් ලකුණු 39කට දවා ගැනීමයි.

මෙම විදුහල් දෙකෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියට තරු රැසක් බිහි කරන්නට සමත්ව තිබෙන අතර ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ලෝක කුසලාන ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයායි.

WATCH LIVE: 88th Battle of the Maroons – Day 1

ආනන්ද විද්‍යාලය

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ප්‍රමුඛයන් වන ආනන්ද විද්‍යාලය තරග 17කින් පූර්ණ ජයග්‍රහණ 4ක් ලබා තරග 13ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබේ. ඔවුන් මහා ක්‍රිකට් තරගයට පිවිසෙන්නේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 361ක් රැස් කරමින් ප්‍රකට කළ විශිෂ්ට දස්කම් වල උණුසුම ද සමඟයි.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ද කැපී පෙනෙන ක්‍රීඩකයකු වන සම්මු අශාන් ආනන්ද කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන අතර ඔහු තරග 10ක දී ලකුණු 410ක් ලබා ගැනීමට අමතරව කඩුලු 37ක් ද බිඳ හෙලා තිබේ.

පැරණි මිතුරු හමුදාවට මුහුණ දීමට මුවහත් වන ආනන්දය

පුහුණු කාර්ය මණ්ඩලය රොහාන් සොයිසා යොවුන් ආනන්ද කණ්ඩායම 7 වන වරටත් මෙහෙය වනු ලබන අතර, පළමු පාසල් මහා තරගය සඳහා තම අත්දැකීම් එකතු කිරීමට බලාපොරොත්තුව…

නායක කවිෂ්ක අංජුල  මෙවර තරග වාරයේ දී ශතක දෙකක් සහ අර්ධ ශතක 7ක් සමඟ ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 889කි. ඊට අමතරව ඔහුගේ නම ඉදිරියේ කඩුලු 17ක අයිතිය ද ලිය වී ඇත.

මෙවර තරග වාරයේ ලකුණු 1000 පසු කළ විශිෂ්ටයන් අතලොස්සෙන් එක් ක්‍රීඩකයෙකු වන සහන් සුරවීර ආනන්ද පිතිකරණ ලැයිස්තුවේ වඩාත්ම අවධානය දිනා ගත් තරුවකි. 18 හැවිරිදි මේ වමත් පිතිකරුවාගේ 1000 ඉක්මවූ ලකුණු එකතුව තුළ ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් අන්තර්ගත වෙයි.

මහා ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම (උපකල්පිත)

කවිෂ්ක අංජුල, දිලීප ජයලත්, සම්මු අශාන්, සහන් සුරවීර, කවිඳු ගිම්හාන, දුශාන් හෙට්ටිගේ, අසෙල් සිගේරා, කමේෂ් නිර්මාල්, සුපුන් වරාගොඩ, චාමික ගුණසේකර, ලහිරු අත්තනායක.

WATCH LIVE: 88th Battle of the Maroons – Day 2

නාලන්ද විද්‍යාලය

‘ඒ’ කාණ්ඩය යටතේ මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියට එක්වූ නාලන්දාව එහි ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ සිව් වන ස්ථානයේ යි. මෙවර තරග වාරය ආරම්භය එතරම් සුබ දායක නොවුනත් නාලන්ද ක්‍රීඩකයන් මහා ක්‍රිකට් තරගයට පිවිසෙන්නේ කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලද කඩුලු 6ක ජයග්‍රහණයකින් පසුවයි. එබැවින් ඔවුන් වසර 64ක සුලෝහිත සංග්‍රාම ජයග්‍රහණ නියඟය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වනු ඇත.

නාලන්ද කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වන මාලිංග අමරසිංහ කෙරෙහි කණ්ඩායමේ සියල්ලන් බලාපොරොත්තු සහගතව සිටින්නේ ලකුණු 857ක් සහ කඩුලු 28ක් ලබාගෙන මෙවර තරග වාරය තුල ඔහු දක්වා ඇති ඉහල දස්කම් හේතුවෙනුයි.

ආනන්දයට එරෙහිව නාලන්දාව අසීරු පරීක්ෂණයක් අභියස

වමත් පිට-දඟ පන්දු යවන දක්ෂ ක්‍රීඩක උමේෂ් ඩිල්ෂාන් නාලන්ද කණ්ඩායමේ දඟ පන්දු බල ඇණියේ පුරෝගාමීත්වය ගෙන ක්‍රීඩා කරනු ඇත.

වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක උමේෂ්ක ඩිල්ශාන් කඩුලු 54 ක් දවාගෙන ඇති අතර SSC තණතීරුව දඟ පන්දු යවන්නට සහය ලබා දුනහොත් උමේෂ්ක නාලන්ද කණ්ඩායමට ඉතා වැදගත් සම්පතක්  වනු ඇති.

නාලන්ද කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වන අසෙල් කුලතුංග මෙවර තරග වාරය තුල දී කඩුලු 73 ක් දවාගෙන තිබෙන්නේ ඉනිමක දී කඩුලු 5ක් බැගින් දවා ගත් අවස්ථා 5ක් ද සමගයි.

මහා ක්‍රිකට් තරගය සඳහා කණ්ඩායම (උපකල්පිත)

දසුන් සෙනෙවිරත්න, මාලිංග අමරසිංහ, ලක්ෂිත රසාංජන, සුහඟ විජේවර්ධන, කසුන් සඳරුවන්, කලන කත්‍රිආරච්චි, රශ්මික මධුශාන්, අසෙල් කුලතුංග, උමේෂ්ක ඩිල්ශාන්, කලන  පෙරේරා, අවිශ්ක පෙරේරා,

සාරාංශය

මෙවර තරග වාරයේ දස්කම් දෙස හැරී බලන කළ ආනන්ද විද්‍යාලය ඉතා ප්‍රබල කණ්ඩායමක් ලෙස .සැලකිය හැක. කෙසේ වෙතත් අතිශය අවිනිෂ්චිත ක්‍රීඩාවක් වන ක්‍රිකට් තරගයක ඉරණම වෙනස් වීමට අවශ්‍ය වන්නේ ඉතා සුළු කාලයක් පමණක් වන බව ද අමතක කළ නොහැකි කරුණකි.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න