ලකුණු දෙකකින් අගමැති කුසලානය මලියදේවයට

876

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අද (23) පැවති මයිලෝ අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන්, තියුණු ජයක් ලබා ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල සමත් විය. සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගය ලකුණු 20-22ක් ලෙස නිමා වූයේ ආනන්ද විදුහලට දෙවැනි ස්ථානය හිමි කර දෙමිනි.

කේරී විදුහල පරදා සාන්ත ආනා විදුහල කුසලානය රැගෙන යයි

මයිලෝ සභාපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද (23) කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ කේරි විද්‍යාලය අතර, කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වූ අතර,

සුගතදාස පිටියට ඇදහැලුණු වර්ෂාවෙන් පසුව සවස 4.25ට පමණ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම් නායක එස්. ඩී. රත්නවීර විසින් තරගයට ආරම්භය ලබා ගත්තේය. එතැන් පටන් තියුණු හා උද්වේගකර තරගයක ආරම්භය සටහන් වූ අතර මිනිත්තු 20ක් වන තෙක්ම දෙපිලේම ක්‍රීඩකයින් පන්දුව සමඟ පොර බදිමින් ගෝලයක් රැස් කිරීමට උත්සහ කළත්, එය සාර්ථක වූයේ නැත.

20 වැනි මිනිත්තුවේ දී ආනන්ද විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් හිමිවුන අතර, එය සාර්ථකව ගෝල කණු අතරින් යොමු කිරීමට ඩී. එස්. විජේසිංහ සමත් විය. ඒ සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. (ආනන්ද 03 – 00 මලියදේව)

එතැන් සිට තරගයේ 39 වැනි මිනිත්තුව දක්වාම මලියදේව විද්‍යාලය දක්ෂ ලෙස ක්‍රීඩා කළ අතර, ආනන්ද විද්‍යාලය උත්සාහක දිනුම් අවස්ථාවන් කිහිපයක් ආසන්නයට පැමිණියත්, ඔවුන්ගේ උත්සාහයන් සාර්ථකව ව්‍යර්ථ කරන්නට මලියදේව විද්‍යාලයේ පසුපෙළ ක්‍රීඩකයින් සමත් වූයේ, ආනන්ද ක්‍රීඩකයින් වෙහෙසට පත් කරමිනි.

තරගයේ ප්‍රථම අර්ධය නිමාවට තවත් මිනිත්තුවක පමණ කාලයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ වී. ඩී. අතපත්තු මලියදේව විද්‍යාලයේ උත්සාහක දිනුම් සීමාව අසලටම පන්දුව රැගෙන ගොස් අයි. යූ. දේවපුරට ලබා දුන් අතර, අතපත්තුගේ උත්සාහයට සිය උපරිමය ලබා දෙමින් දේවපුර ධවල රේඛාව පසු කළේ උත්සාහක දිනුමක පහස මලියදේවයට ලබා දෙමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ආනන්ද 03 – 05 මලියදේව)

පළමු අර්ධය: ආනන්ද විද්‍යාලය 03 – 05 මලියදේව විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයට ආරම්භය මලියදේව විද්‍යාලයේ ඩී. අයි. හේරත් විසින් ලබා ගත්තේය. තරගයේ 42 වන මිනිත්තුවේ දී ඩී. අයි. හේරත් විසින් පා පහර කිහිපයක් පන්දුවට එල්ල කරමින් උත්සාහක දිනුම් සීමාව මතට පන්දුව රැගෙන ගොස් ඒ මතට පැන විශිෂ්ට උත්සාහක දිනුමක් සාර්ථක කර දුන්නේ ආනන්ද විද්‍යාලයේ පසුපෙල ක්‍රීඩකයින් මවිත කරමිනි. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (ආනන්ද 03 – 10 මලියදේව)

එයින් මිනිත්තු 10කට පමණ පසුව ආනන්ද විද්‍යාලයේ නායක එස්. ඩී. හේරත් විසින් අගනා උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කර ගත් අතර, ඒ සඳහා ආනන්ද විද්‍යාලයේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් නොමද සහයෝගය හිමි විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඩී. එස්. විජේසිංහ සමත් විය. (ආනන්ද 10 – 10 මලියදේව)

පසුව තරගයේ 54 වන මිනිත්තුවේ දී ආනන්ද ක්‍රීඩක ඩබ්. කේ. මෙන්ඩිස් අනතුරුදායක ආකාරයේ වැළැක්වීමක් සිදු කරමින් මලියදේව ක්‍රීඩකයෙකුගේ හිස පොළොව මත ගැටීමට සැලැස්වූ නිසා තරගයේ ප්‍රධාන විනිසුරුතුමා කහ කාඩ්පතක් ඔහුට එසවිය.

එයින් උපරිම ප්‍රයෝජනය ගත් මලියදේව විද්‍යාලයේ වී. ඩී. අතපත්තු තරගයේ 56 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර එයට සම්පූර්ණ ලකුණු එකතු කිරීමට වයි. කුමාර සමත් විය. (ආනන්ද 10 – 17 මලියදේව)

තරගයේ උණුසුම ක්‍රමයෙන් වැඩිවත්ම ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයන් ඔවුන්ගේ උත්සාහක දිනුම් රේඛාව අසල මිනිත්තු කිහිපයක්ම රැඳෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට යත්න දැරූ අතර, ඔවුන්ගේ උත්සාහය මල්පල ගන්වමින් 68 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට එස්. තිලකරත්නට හැකි විය. එහි ප්‍රවර්තනය ද විජේසිංහ විසින් සාර්ථක කර ගැනීම නිසා තරගය යළිත් වරක් දෙපිලටම විවෘත විය. (ආනන්ද 17 – 17 මලියදේව)

තරගයේ අවසන් මිනිත්තු කිහිපය ගෙවී යන විට, නැවත වතාවක් ආනන්ද විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර, එය සාර්ථක කර ගැනීමට විජේසිංහ සමත් වීමත් සමඟ ආනන්ද විද්‍යාලය පෙරමුණට පැමිණියේය. (ආනන්ද 20 – 17 මලියදේව)

77 වන මිනිත්තුවේ දී මලියදේව විද්‍යාලය තම උත්සාහක දිනුම් සීමාවට පන්දුව රැගෙන ගොස් තරගයේ ප්‍රතිඵලය කණපිට හරවා ගැනීමට ප්‍රබල වෑයමක් දැරූ අතර, එය මල්පල ගන්වමින් මලියදේව ක්‍රීඩක එස්. සී. හේරත් තරගයේ 77 වන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්තේ ආනන්ද විද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරය නිහඬ කරමිනි. එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (ආනන්ද 20 – 22 මලියදේව)

අවසන් මිනිත්තුව තුල ආනන්ද ක්‍රීඩකයින් උත්සාහක දිනුම් අවස්ථාවක් ලබා ගැනීමට ඉතා ආසන්න වුවත්, ඔවුන්ගේ පසුපෙළ දුර්වලතාවයන් නිසා එම අවස්ථාව මඟ හැරී ගියේය. ඒත් සමඟින් විනිසුරුතුමා විසින් තරගයේ නිමාව සඳහා නළාව නාද කළ අතර ඒ සමඟින් ආනන්ද විදුහලේ සිහින බොඳ වී ගියේ මලියදේව විදුහලේ සිහින සැබෑ වෙමිනි.

අවසන් ලකුණු තත්වය: ආනන්ද විද්‍යාලය 20 – 22 මලියදේව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – වී.ඩී.අතපත්තු (මලියදේව විද්‍යාලය)

ලකුණු ලබාගැනීම

ආනන්ද විද්‍යාලය – (20) උත්සාහක දිනුම් 2, ප්‍රවර්තන 2, දඩුවම් පහර 2
උත්සාහක දිනුම් – එස්.ඩී.රත්නවීර 1 , එස්.තිලකරත්න 1
ප්‍රවර්තන – ඩී.එස්. විජේසිංහ 2
දඩුවම් පහර – ඩී.එස්. විජේසිංහ 2

මලියදේව විද්‍යාලය – (22) උත්සාහක දිනුම් 4, ප්‍රවර්තන 1
උත්සාහක දිනුම් – අයි.පූ දේවපුර 1, ඩී.අයි හේරත් 1, වී. ඩී. අතපත්තු 1, එස්.සී හේරත් 1
ප්‍රවර්තන – වයි.කුමාර 1
කහ කාඩ්පත – ඩබ්.කේ.මෙන්ඩිස් (ආනන්ද විද්‍යාලය)

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ගියවර ශූරයින් වන කොළඹ ඉසිපතන විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර කොළඹ තුරඟ තරග පිටියේ දී හෙට (24) සවස 7.00ට විදුලි ආලෝක මධ්‍යයේ දී පැවැත්වේ.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට