වසර 130ක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ ආනන්ද විද්‍යාලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත වටිනා ත්‍යාග කිහිපයක්ම ලබා දී ඇති පාසලකි. ඒ අතර 1996 දී පළමු ලෝක කුසලානය මෙරටට ගෙන ආ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ නායක අර්ජුන රණතුංග, පිතිකරණය සම්බන්ධව විශිෂ්ට තාක්ෂණයෙන් හෙබි මාවන් අතපත්තු හා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් වැනි දක්ෂ ක්‍රීඩකයින් රැසක් ආනන්ද විද්‍යාලය විසින් දායාද කර ඇත.

ආනන්දයට එරෙහිව නාලන්දාව අසීරු පරීක්ෂණයක් අභියස

වමත් පිට-දඟ පන්දු යවන දක්ෂ ක්‍රීඩක උමේෂ් ඩිල්ෂාන් නාලන්ද කණ්ඩායමේ දඟ පන්දු බල ඇණියේ පුරෝගාමීත්වය ගෙන ක්‍රීඩා කරනු ඇත…

ප්‍රධාන ක්‍රීඩකයින්

88 වැනි සුලෝහිත සංග්‍රාමයේ දී සහන් සුරවීර ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පිතිකරණ අංශයේ ප්‍රධාන තරුවක් වන අතර, මෙම තරග වාරය තුල දැවැන්ත ශතක 5ක් හා ආකර්ෂණීය අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1024ක් ලබා ගැනීමට ඔහු සමත්ව ඇත. අවසන් වරට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එදිරිව පැවැත්වූ තරගයේ දී සහන් ලකුණු 134ක් ලබාගනිමින් අභියෝගාත්මක පිතිකරණයක නිරත විය.

ආනන්ද විද්‍යාලයේ මැදපෙළ ප්‍රබල තුරුම්පුවක් වන ආනන්ද විද්‍යාලයේ නායක කවිශ්ක අංජුල මෙවර ක්‍රිකට් තරග වාරයේ දී අර්ධ ශතක 7ක් හා දැවැන්ත ශතක 2ක් ලබාගෙන දස්කම් අතර පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරග වලට සම්බන්ධ වීම නිසාවෙන් මෙවර පාසල් තරග වාරයට නිසියාකාරව සහභාගි වීමට නොහැකි වුනු සම්මු අශාන්, අංක 3 පිතිකරු ලෙස තම වගකීම ඉටු කිරීමට සූදානමින් සිටියි. ඔහු කණ්ඩායම තුල සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වේ.

පන්දු යවන්නන්ගේ අංශය තුල සුපිරි අවියක් වන වමතින් දඟ පන්දු යවන දිලීප ජයලත් මෙවර තරග වාරයේ දී කඩුලු 73ක් දැනටමත් දවා ගැනීමට සමත් ව ඇත. මෙවර තරග වාරයේ ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 23කට කඩුලු 7ක් දවාලීම දැක්විය හැක. දිලීප මෙවර මහා තරගයේ දී නාලන්ද පිතිකරුවන්ගේ අවධානයට ලක්වන ප්‍රබල ක්‍රීඩකයෙකි.

දිලීප ට අනගි සහයක් ලබා දෙමින් දක්ෂ ලෙස දඟ පන්දු යවන අසේල සිගේරා මෙවර තරග වාරයේ තම නමට ඉදිරියෙන් කඩුලු 46ක් වාර්තා කරගෙන ඇත. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහි තරගයේ දී ලකුණු 29කට කඩුලු 6ක් ලබා ගනිමින් තම හොඳම පන්දු යැවීම එළි දක්වා ඇති සිගේරා කඩුලු 5 අවස්ථාවන් දෙකකට හිමිකම් කියයි.

Photo Album: Ananda College Cricket Team Preview 2016/17

පුහුණු කාර්ය මණ්ඩලය

රොහාන් සොයිසා යොවුන් ආනන්ද කණ්ඩායම 7 වන වරටත් මෙහෙය වනු ලබන අතර, පළමු පාසල් මහා තරගය සඳහා තම අත්දැකීම් එකතු කිරීමට බලාපොරොත්තුව සිටින අමල් ප්‍රනාන්දු මහතා ආනන්ද විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

සාරාංශය

ආනන්ද විද්‍යාලය මෙවර ක්‍රිකට් තරගාවලිය තුල තරග වදින ප්‍රබල කණ්ඩායමක් ලෙස තම නාමය සනිටුහන් කරගෙන ඇති අතර, තවත් තරග කිහිපයක්ම ඉතිරිව තිබිය දී දැනටමත් තරග 4ක් ජයග්‍රහණය කර ඇත. ඒ අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන කණ්ඩායම් ආනන්ද විද්‍යාලය විසින් පරාජය කල කණ්ඩායම් වේ. ඒ අනුව බලන විට මෙවර පැවැත්වීමට නියමිතව ඇති 88 වැනි සුලෝහිත සංග්‍රාමයේ නාලන්ද විද්‍යාලයට තියුණු තරගයක් ලබා දෙන බවට ආනන්ද විද්‍යාලය දැනටමත් ඉඟි කර ඇත.

ආනන්ද විද්‍යාල ක්‍රිකට් සංචිතය

කවිශ්ක අංජුල (නායක), සහන් සුරවීර, සම්මු අශාන්, අසේල සිගේරා , දිලීප ජයලත්, සුපුන් වරාගොඩ, දමිදු රිශාන්, සනත් දසනායක, කවිදු ගිම්හාන, ලහිරු අත්තනායක, අචිල ඉරිංග, ඩිල්ශාන් හෙට්ටිගේ, ලහිරු උදයංග, කලණ ප්‍රමෝද්, චාමික ගුණසේකර, හසිදු විජේවර්ධන, ප්‍රමේශ් අබේනායක , රොහාන් සොයිසා (පුහුණුකරු), අමල් ප්‍රනාන්දු (සහය පුහුණුකරු)

සුලෝහිත සංග්‍රාම සටනේ 88 වැනි දිග හැරුමේ උණුසුම පන්දුවෙන් පන්දුවට විඳ ගැනීමට මාර්තු 4 සහ 5 දෙදින තුල ThePapre.com හරහා ඔබ වෙත ගෙන එන සජීවී විකාශය සමඟින් එක්වන්න