චමරිගේ දක්ෂතා මැද ගුවන් හමුදාවට ශූරතාවය

418
Army vs Air Force

කාන්තා සීමිත පන්දු වාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) කොළඹ MCA පිටියේ දී නිමාව දුටුවේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දෙමිනි. මෙම තරගාවලියට ජාතික කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර අවසන් තරගයේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූයේ චමරි අතපත්තු ය.

ශලිත්ගේ වෑයම වරදියි; මධ්‍යම පළාතට තියුණු ජයක්!

ලොවක් දිනන්නට සූදානම් වන යොවුන් ක්‍රීඩා තරු වලට සිය නැවුම් දස්කම්..

කාසියේ වාසිය තමා සතු කර ගත් ගුවන් හමුදා කණ්ඩායම් නායිකාව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දී යුධ හමුදාවට පීඩනයක් ගෙන දිය හැකි තරමේ ලකුණු සංඛ්‍යාවක් වෙත යාමටයි. ගෙවුණු තරග කිහිපයක දී ම ගුවන් හමුදා කණ්ඩායම මෙම සැලැස්ම සාර්ථක ලෙස භාවිතා කළ අතර ඔවුන්ගේ උත්සාහයන් බොහෝ විට සාර්ථක විය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝක ප්‍රකට නමක් දිනා ගත් කීර්තිමත් ක්‍රීඩිකාවන් අතලොස්ස අතරට අයත් වන චමරි අතපත්තු අද ගුවන් හමුදා ඉනිම ගොඩ නැගීමේ දී ප්‍රමුඛත්වයක් ඉසිලුවාය. ඉනිමේ එකම අර්ධ ශතකලාභිනිය ලෙසින් ඇයගේ පිතිකරණයෙන් පැමිණි ලකුණු 60 ගුවන් හමුදා ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය. දකුණතින් පිත්ත හසුරුවන යසෝදා මෙන්ඩිස් ද අගනා ලකුණු 41ක් රැස් කරමින් තම කණ්ඩායමට සවියක් විය.

වේගයෙන් පන්දුවට පහර දීමටත්, අවශ්‍ය විට දී කඩුල්ල බේරා ගෙන පිටියේ රැඳී සිටීමටත් එක ලෙස දස්කම් පාන ඩිලානි මනෝදරා අද දිනයේ ලකුණු 24ක් රැස්කර සිටිය දී දැවී ගියාය. මැදපෙළ නියෝජනය කරමින් පිටියට පිවිසි දකුණත් පිතිකාරිණී අමා කාංචනා නොදැවී ලකුණු 23ක් රැස් කරමින් ගුවන් හමුදා ඉනිම ලකුණු 190ක් දක්වා ඉහළට ගෙන යාමට සමත් වුවාය. පන්දු වාර 50ක තරගයක දී තරමක් අඩු ලකුණු සංඛ්‍යාවක් ලෙස දිස්වූ නමුත් අවසානයේ මෙම ලකුණු ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ දෑතට කුසලානය හිමිකර දීමට තරම් ප්‍රමාණවත් විය.

පන්දු යැවීමේ දී යුධ හමුදාවට වැඩිම තර්ජනයක් එල්ල වූයේ වමතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩිකා සුගන්දිකා කුමාරිගෙනි. MCA පිටියේ තණතිල්ලේ ස්වභාවය මැනවින් භාවිතා කළ ඇය තම වමත් පිට දඟ පන්දුවෙන් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තිදෙනකු මෙල්ල කිරීමට සමත් වූවාය. මීට අමතරව ලක්මාලි මෙත්තානන්ද සහ නිලූකා කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. සමස්තයක් වශයෙන් යුධ හමුදා ක්‍රීඩිකාවන්ගේ පන්දු යැවීම සහ පිටියේ පන්දු රැකීම සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවති අතර ඒ හේතුවෙන් ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට රිසි සේ පහරවල් කරා යොමු වීමට අවකාශය උදා නොවීය.

පළමු කාණ්ඩයේ කාන්තා ශූරතාවය ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් ලකුණු 191ක ඉලක්කයක් හිමිවුන යුධ හමුදා ක්‍රීඩිකාවන් ඉනිම ආරම්භයේ සිටම ජයග්‍රාහී මාවතෙන් එපිටට යන අයුරු දැක ගන්නට ලැබුණි. විශේෂයෙන්ම පන්දු වාරයකට ලකුණු 4කටත් වඩා අඩු වේගයක් රඳවා ගෙන පහසුවෙන් ජය ගැනීමට තිබූ තරගය ඔවුන්ගේ පිතිකාරිණියන් දැක්වූ දුර්වලතා නිසා අවසානයේ පරාජයකින් කෙළවර විය.

පන්දුවෙන් ද ඉහළ දක්ෂතා දැක්වූ ලක්මාලි මෙත්තානන්ද ලකුණු 27ක් රැස් කරමින් යුධ හමුදා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්විය. නමුත් පිතිපෙළ නාය යෑම නිසා යුධ හමුදා ක්‍රීඩිකාවන්ට පන්දු වාර 45යි පන්දු 4ක් අවසානයේ රැස්කර ගත්තේ ලකුණු 129ක් පමණි. ඒ අනුව ලකුණු 61ක විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් ශූරතා කුසලානය දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායමට අවස්ථාව උදා විය. මෙම ජයග්‍රහණය පසුපස සිටි දැවැන්ත සෙවනැල්ල බවට පත්වූ චමරි අතපත්තු පන්දුවෙන් කඩුලු 2ක් දවා ගැනීමට ද සමත්කම් දැක්වූවාය.

ගුවන් හමුදාව – කඩුලු 9ක් දැවී ලකුණු 190 (පන්දුවාර 50): චමරි අතපත්තු 60, යසෝදා මෙන්ඩිස් 41, ඩිලානි මනෝදරා 24, අමා කාංචනා 23*, ඕෂදී රණසිංහ 21, සුගන්දිකා කුමාරි 3/21, ලක්මාලි මෙත්තානන්ද 2/38, නිලූකා කරුණාරත්න 2/39.

යුධ හමුදාව – සියල්ලන්ම දැවී ලකුණු 129 (පන්දුවාර 45.4): ලක්මාලි මෙත්තානන්ද 27, චමරි පොල්ගම්පළ 2/13, චමරි අතපත්තු 2/28.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට