සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. තරගාවලිය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ ඉසිපතන ක්‍රීඩකයින් හමුවේ අවසාන තරගයේ දී පරාජය වූයේ, තරගාවලියේ තවත් ප්‍රබල කණ්ඩායමක් වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කණ්ඩායමයි.

කොළඹ රාජකීයයින්ට ඇහැලියගොඩින් අභියෝගයක්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පළමු දිනය සඳහා වන රග්බි තරග අද (06) කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය.

ඒ අනුව විද්‍යා විද්‍යාලය තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අතර මොරටුව මොරටු මහා විද්‍යාලය තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඉසිපතන විද්‍යාලයේ නදීෂ් චාමින්ද තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මානය පාත්‍ර විය.

සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියේ දෙවැනි දිනය වූ අද (07) දිනයේ තරගය ද කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය.

වරින් වර වර්ෂාවෙන් බාධා එල්ල වුවද ක්‍රීඩකයින් ඉතා උද්යෝගයෙන් ක්‍රීඩා කරනු දැක ගන්නට ලැබුණි. සත් සාමාජික ආකෘතියෙන් සංවිධානය වූ වයස අවුරුදු 20න් පහළ කාණ්ඩයේ තරගාවලියක් වන මෙයට දිවයින පුරා පිහිටි පාසල් 18ක් සහභාගී වී තිබුණි.

සමස්ත ලංකා පාසල් තරගාවලියකට ‍රග්බි ක්‍රීඩාව ඇතුළත් කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන කළමනාකරු කේ. ඩී. කණිෂ්ක මහතා, කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගි විය.

  • පළමු අර්ධ අවසන් පූර්ව තරගය

ඉසිපතන විද්‍යාලය හා කොළඹ විදුර විද්‍යාලය

දිනයේ පළමු තරගය වූ මෙය ඉතා පහසුවෙන් ජය ගැනීමට ප්‍රබල ඉසිපතන විදුහල සමත් විය. ඔවුන් පළමු අර්ධයේ දී ලකුණු 26ක් ද දෙවන අර්ධයේ දී ලකුණු 27ක් ද වාර්තා කර ගනිමින් ලකුණු 53-00ක් ලෙස තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය

ඉසිපතන විද්‍යාලය 53 (උත්සාහක දිනුම් 9, ප්‍රවර්තන 4) : විදුර විද්‍යාලය කොළඹ 00


  • දෙවන අර්ධ අවසන් පූර්ව තරගය

ඌව මහා විද්‍යාලය බදුල්ල හා පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය

තරග ආරම්භයේ උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගාවලිය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයට දැඩි අභියෝගයක් එල්ල කරන්නට ඌව ක්‍රීඩකයෝ සමත් වූ නමුත්, ක්‍රමයෙන් තරගයේ ආධිපත්‍ය සියතට ගත් සිරි පියරතන ක්‍රීඩකයෝ ලකුණු 24-12ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය

පාදුක්ක සිරි පියරතන විද්‍යාලය 24 (උත්සාහක දිනුම් 4, ප්‍රවර්තන 2) : ඌව මහා විද්‍යාලය බදුල්ල 12 (උත්සාහක දිනුම් 2, ප්‍රවර්තන 1)


  • තෙවන අර්ධ අවසන් පූර්ව තරගය  

තල්දූව බෞද්ධ මහා විද්‍යාලය හා මොරටුව මොරටු මහා විද්‍යාලය

තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගැනීමට මොරටු මහා විද්‍යාලය සමත් වූ අතර ඔවුන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. නමුත් දෙවන අර්ධයේ දී බෞද්ධ මහා විද්‍යාලය උත්සාහක දිනුම් වාර්තා කර ගනිමින් තරගයට අවතීර්ණ වීමට උත්සහ කළ ද, මොරටු මහා විද්‍යාලය තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය

මොරටු මහා විද්‍යාලය 17 (උත්සාහක දිනුම් 3, ප්‍රවර්තන 1) : තල්දුව බෞද්ධ මහා විද්‍යාලය  07 (උත්සාහක දිනුම් 1, ප්‍රවර්තන 1)


  • සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

ඉතා උණුසුම් තරගයක් වූ මෙයට දැඩි ප්‍රේක්ෂක සහයෝගයක් ලැබුණි. සත්කාරක රාජකීය පිලට ආරම්භයේ සිටම දැඩි අභියෝගයක් එල්ල කළ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම පළමු අර්ධය තුල පෙරමුණ ගනිමින් ලකුණු 14-00ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

දෙවැනි අර්ධයේ දී රාජකීයයන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වුවද අවසාන මොහොත තෙක් කරට කර පැවතුණු තරගය ජය ගැනීමට එම උත්සාහක දිනුම ප්‍රමාණවත් නොවීය.

අවසාන ලකුණු තත්වය

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 14 (උත්සාහක දිනුම් 2, ප්‍රවර්තන 2) : කොළඹ රාජකීය විද්‍යාලය    07 (උත්සාහක දිනුම් 1, ප්‍රවර්තන 1)

නවීන් හේනකන්කානම්ගේ සත් සාමාජික සංචිතයෙන් ඉවතට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ…

  • පළමු අවසන් පූර්ව තරගය  

ඉසිපතන විද්‍යාලය හා සිරි පියරතන විද්‍යාලය

සත් සාමාජික ආකෘතියේ සිය ප්‍රවීණත්වය මනාවට පිළිබිඹු කරමින් ඉසිපතන විද්‍යාලය ලකුණු 44 -05ක් ලෙස මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය. තරගය ආරම්භයේ සිටම පියරතන පිලට කිසිදු අස්වැසිල්ලක් නොදෙමින් උත්සාහක දිනුම් 6ක් වාර්තා කිරීමට ඔවුන් සමත් වූ අතර පියරතන පිලට හැකි වූයේ එක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට පමණි.

අවසාන ලකුණු තත්වය

ඉසිපතන විද්‍යාලය 44 (උත්සාහක දිනුම් 8 ,ප්‍රවර්තන 2) : සිරි පියරතන මහා විද්‍යාලය 05 (උත්සාහක දිනුම් 1)


  • දෙවන අවසන් පුරව තරඟය

විද්‍යා විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

තරගාවලිය පුරා ප්‍රබල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය මෙම තරගය ලකුණු 45-00ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සමත් විය. ආරම්භයේ දී මොරටු මහා විද්‍යාලය යම් පීඩනයක් එල්ල කිරීමට උත්සහ කළ ද එම පීඩනය පහසුවෙන් මැඩලූ විද්‍යා විද්‍යාලයීය පිල උත්සාහක දිනුම් 7ක් වාර්තා කර ගනිමින් තරගය ජය ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 45 (උත්සාහක දිනුම් 7, ප්‍රවර්තන 5) : මොරටු මහා විද්‍යාලය 00  


  • තුන්වන ස්ථානය සඳහා තරගය

සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

තරගාවලිය පුරා හොඳින් ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකක් වූ මෙම කණ්ඩායම් දෙක අතර ඉතා උණුසුම් තරගයක් පැවතුනි. ආරම්භයේ සිටම කරට කර තරගයක් පැවති අතර පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-0ක් ලෙස පෙරමුණ ගැනීමට මොරටු මහා විද්‍යාලය සමත් විය. දෙවන අර්ධය ද ඉතා උද්වේගකර වූ අතර දක්ෂ ලෙස ක්‍රීඩා කළ මොරටු මහා විද්‍යාලයීය කණ්ඩායම තවත් උත්සාහක  දිනුම් දෙකක් වාර්තා කරමින්  ලකුණු 19-00ක් ලෙස සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය පරදවමින්  තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය

මොරටු මහා විද්‍යාලය 19 (උත්සාහක දිනුම් 3, ප්‍රවර්තන 2) : සිරි පියරතන මහා විද්‍යාලය 00

රග්බි ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් ත්‍රිත්ව විද්‍යාලාධිපතිගේ නිවේදනය

රග්බි පුහුණු සැසියක් අතරතුර ධාවනයේ යෙදෙමින් සිටිය දී ඇතිවූ අසනීප තත්ත්වයකින් පසු මරණයට පත්වූ 18 හැවිරිදි ක්‍රීඩකයා ඉගෙනුම…

  • අවසාන මහා තරගය

ඉසිපතන විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

තරගාවලියට ක්‍රීඩා කළ ප්‍රබලම කණ්ඩායම් දෙකක් වූ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය  අතර තරගයට ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් ලැබුණි.

ආරම්භයේ ඉතා උණුසුම් කරට කර තරගයක් වූ මෙය වරින් වර දෙපසටම දෝලනය වෙමින් පැවතීම නිසා එහි උද්වේගකර භාවය තවත් වැඩි විය. එනමුත් ඉතා ප්‍රබල හා වේගවත්  ක්‍රීඩා විලාසයක් දියත් කළ ඉසිපතන ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසානයේ ලකුණු 19–05ක්  ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

දෙවැනි අර්ධයේ ද ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ ඉසිපතන කණ්ඩායම, විද්‍යා විද්‍යාලයට කිසිදු අවස්ථාවක් ලබා නොදී තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් ලකුණු 31-05ක් ලෙස තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය

ඉසිපතන විද්‍යාලය 31 (උත්සාහක දිනුම් 5, ප්‍රවර්තන 3) : ගල්කිස්ස විද්‍යා විද්‍යාලය 05 (උත්සාහක දිනුම් 1) 

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට