මහ වැසි මැද මාරිස් ස්ටෙල්ලා විදුහල සමස්ත බාලක අංශයෙන් පෙරමුණට

567

සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ  සිව්වන  දිනය සඳහා වන තරග අවසන් වන විට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සමස්ත බාලක ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.

සමස්ත බාලිකා ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වලල ඒ. රත්නායක විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. සිව්වන දිනය වූ අදත් (14) තරගාවලියට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, පිටියේ තෙතබරිත ස්වභාවය මෙන්ම අබලං තත්වය ද නොතකමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතා උද්වේගයෙන් තරග කරනු දක්නට ලැබුණි. ඉතා උණුසුම් අංගයක් වූ සහය දිවීමේ මූලික වටයේ තරග අද පැවැත්වුණු අතර එම තරගවලට ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගිත්වයක් දක්නට ලැබුණි.

ශේෂාන්ගෙන් නව ජාතික පාසල් වාර්තාවක්

33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග තෙවන දිනටත් ඊයේ (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. කෙසේ නමුත් තරගාවලියේ ආරම්භක දිනයේ…

වලල ක්‍රීඩිකාවෝ 800m ධාවන පථය පුරා සිය ආධිපත්‍ය පතුරවති

ධාවන පථය සිසාරා සිය ආධිපත්‍ය පැතිර වූ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල් ක්‍රීඩිකාවෝ වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 800 ධාවන තරගයේ, පළමු දෙවන සහ තෙවන ස්ථාන තුනම දිනා ගැනීමට සමත් විය.

මෙහි දී එච්. එම්. සී. එස්. හේරත් මිනිත්තු 2යි තත්පර 18.94ක කාලයක් වාර්තා කරමින් පළමු ස්ථානයට ද, ආර්. ඩී. ජී. එන්. ජයසිංහ මිනිත්තු 2යි තත්පර 19.86ක කාලයක් වාර්තා කර ගනිමින් දෙවන ස්ථානයට ද, ඊ. එම්. පී. එම්. රත්නායක මිනිත්තු 2යි තත්පර 21.06ක කාලයක් වාර්තා කරමින් තෙවන ස්ථානයට ද පත්විය.

ගුරුගොඩැල්ල කනිෂ්ඨය අගනුවරින් ශූරතාව උදුරා ගනී

තංගල්ල ගුරුගොඩැල්ල කනිෂ්ඨ විදුහලේ නෙත්මි නිම්සරා, බස්නාහිර ක්‍රීඩිකාවන්ගේ ධාවන පථයේ ආධිපත්‍ය බිඳ දමමින් වයස අවුරුදු 16න් පහළ මීටර් 800 ධාවන තරගය ජය ගැනීමට සමත් වීම විශේෂ සිදුවීමක් විය. තරගය නිමා කිරීම සඳහා ඇය ගත කළ කාලය මිනිත්තු 2යි තත්පර 21.29කි.

දුෂ්කර පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනප්‍රිය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ උරෙනුර ගැටෙමින් තරග කිරීම නිසා දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද තරගාවලියේ උණුසුම ඉතා ඉහළ මට්ටමක පැවතුනි.

රිටි පැනීමේ ගෞරවය යාපනයට  

වයස 18න් පහළ බාලිකා රිටි පැනීමේ පළමු ස්ථාන තුනම උතුරු පළාත නියෝජනය කරන ක්‍රීඩිකාවන් දිනා ගැනීම විශේෂ සිදුවීමක් වූ අතර යාපනය මහජන විද්‍යාලයේ සී. හෙරීනා පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, යාපනය චාවකච්චේරි හින්දු විද්‍යාලයේ එස්. ශංකවි හා එන්. දක්සිතා පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

පළමු ස්ථානය දිනාගත් හෙරීනා මීටර 3.1 ක උසක් වාර්තා කළ අතර දෙවන ස්ථාන හා තෙවන ස්ථාන දිනාගත් ක්‍රීඩිකාවන් දෙදෙනාම මීටර 2.9ක උසක් වාර්තා කිරීමට සමත් විය.

සමස්ත බාලක ශූරතාව සඳහා  මීගමුව මාරිස් ස්ටෙල්ලා, කොළඹ සාන්ත බෙනඩික්ට් හා වලල ඒ. රත්නායක, විදුහල් අතර තියුණු තරගයක් නිර්මාණය වෙමින් පවතින අතර සමස්ත බාලිකා ශූරතාව සඳහා වලල ඒ. රත්නායක විදුහල පෙරමුණේ සිටියි. පළාත් ලෙස ගත් විට මධ්‍යම හා බස්නාහිර පාසල් අතර ඉතා තියුණු තරගයක් පවතී. මලල ක්‍රීඩා තරගාවලියේ පස්වන සහ අවසාන දිනය වන හෙට (15) සහය දිවීම් අවසන් තරග ඇතුළු අවසන් තරග රැසක් පැවැත්වීමට නියමිතයි.

සිව්වැනි දිනයේ සියලු තරග ප්‍රතිඵල

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<