කෞෂල්‍යා වසර 10 වාර්තාවක් බිඳ දමයි

524

නව වාර්තා 16ක් බිහි කරමින් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය අද (3) නිමා විය. තරගාවලියේ මුල් දින දෙක තුල දිනයේ දී වැඩි ගෞරව හිමිකර ගැනීමට බස්නාහිර පළාත තවමත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවේ.

අහමඩ්ගේ උත්සාහයෙන් සාන්ත පීතර ක්‍රීඩක හිරුෂගේ සිහින බිඳ වැටේ

නව වාර්තා 11ක් සමඟින් 34 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය අද…

අද දිනයේ දී පැවැත්වූ පළමු ඉසව්වේ දී ඉතා සුවිශේෂී සිදුවීමක් සිදු විය. 14න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වේ අවසාන ඉසව්ව අද දිනයේ දී පැවැත්වූ පළමු ඉසව්ව වූ අතර එහි දී එම ඉසව්ව සඳහා සහභාගී වූ ක්‍රීඩිකාවන් 8 දෙනා විසින්ම මෙයට පෙර එම ඉසව්වේ පැවති වාර්තාව බිඳ හෙලීමට සමත් විය.

පසුගිය වසරේ දා හෝමාගම මාධ්‍ය මහා විද්‍යාලයේ පියුමාලි චන්ද්‍රතිලක විසින් මීටර් 1.46ක් වාර්තා කර තිබුණු අතර අද දිනයේ දී එම ඉසව්වේ 8 වැනි ස්ථානය හිමිකරගත් ක්‍රීඩිකාව ද මීටර් 1.47ක දස්කමක් දක්වන ලදි. එහි ප්‍රථම ස්ථානය පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නලීමා ලහිරුනී ද සොයිසා විසින් හිමිකරගත් අතර ඇය විසින් දැක්වූ දක්ෂතාවය මීටර් 1.53කි.

කොළඹ සාන්ත පීතර විදුහලේ හිරුෂ හෂේන් විසින් 16න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වේ වාර්තාව තමා සතුකර ගත්තේ මීටර් 7.04ක දස්කමක් පෙන්වමිනි. එය නව තරගාවලි වාර්තාවක් ද වේ. හලාවත සාන්ත මේරි පිරිමි විදුහලේ හෂාන් කෝසල සහ කොළඹ සාන්ත ජෝශප් විදුහලේ පසිඳු මල්ෂාන් පිළිවෙළින් එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

14න්  පහළ බාලිකා මීටර් 100 ඉසව්ව තත්.12.84කින් නිමා කළ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශනෙලා සෙනවිරත්න විසින් එම ඉසව්වේ රන් පදක්කම බස්නාහිර පළාතට හිමිකර දුන්නේ නව වාර්තාව ද සමඟිනි. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ U. ලිහන්සා විසින් එහි රිදී පදක්කමත්, මාතලේ විජය ජාතික පාසලේ M. S. S.විහාන්ගා විසින් ලෝකඩ පදක්කමත් ජය ගනු ලැබීය.

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ කවිදී සන්ජානි එදිරිසිංහ විසින් 16න් පහළ බාලිකා මීටර් 400 ඉසව්වෙන් ජය හිමිකර ගත්තේ පසුගිය වසරේ දී ඇය විසින්ම පිහිටුවා තිබූ වාර්තාව අලුත් කරමිනි. පසුගිය වසරේ දී මීටර් 400 නිමා කිරීම සඳහා ඇයට තත්.58.67ක් වැය  වූ නමුත් මෙවර ඒ සඳහා ඇයට  වැය වූයේ තත්.56.91කි. මහව තම්මිටගම මහා විදුහලේ තරංගා කුමාරි එම ඉසව්වේ දෙවැනි ස්ථානයත්, නුවර විහාර මහාදේවි විදුහලේ A. P.හෙට්ටිආරච්චි එම ඉසව්වේ තෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත් විය.

18න් පහළ බාලක මීටර් 400 ඉසව්වෙන් නව ක්‍රීඩා උළෙල වාර්තාවක් පිහිටුවීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ රුසිරු මල්ෂාන් සිල්වා සමත් විය. ඔහු විසින් වාර්තා කරන ලද කාලය තත්.48.16කි. කොළඹ අසෝක විද්‍යාලයේ චාරු අදීප ගුණසේන සහ සූරියවැව ජාතික පාසලේ  චමුදික ද සිල්වා පිළිවෙළින් එම ඉසව්වේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකර ගන්නා ලදි.

කොළඹ සාන්ත පීතර විදුහලේ රුමේෂ් තරංග විසින් 16න් පහළ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක් තැබුවේ මීට පෙර තිබූ වාර්තාවට වඩා මීටර් 6ක් ඉදිරියට සිය හෙල්ලය විසිකරමිනි. මීට පෙර තිබූ වාර්තාව වූයේ මීටර් 60.08කි. එහෙත් රුමේෂ් විසින් මීටර් 66.49ක දක්ෂතාවක් පෙන්නුම් කරන ලදි.

ඒ අතර වසර 10ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ A. D. කෞශල්‍යාට හැකි විය. එකල කෙටිදුර ධාවනයෙන් සිය ආධිපත්‍ය පතුරවා සිටි ක්‍රීඩිකාවක් වූ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහලේ ඉෂාරා සන්දීපනී විසින් 2008 වසරේ දී 18න් පහළ බාලිකා මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් පිහිටුවා තිබූ වාර්තාව කෞශල්‍යා විසින් තමන්ගේ නමට ලියා ගන්නා ලදි. ඉෂාරා විසින් 2008 දී වාර්තා කර තිබූ කාලය 15.27ක් වන අතර අද දින කෞශල්‍යාට ඒ සඳහා ගත වූ කාලය තත්.14.86කි.

කොළඹ රාජකීය විදුහලේ නදුන් බණ්ඩාර විසින් 16න් පහළ බාලක මීටර් 100 කඩුලු  පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේ එම ඉසව්ව තත්.13.34ක කාලයකින් අවසන් කරමිනි. එය නව වාර්තාවක් ද වේ. එම ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා ගත්තේ රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ V. ආරියවංශ විසිනි. එම ඉසව්වේ තෙවැනි ස්ථානය හොරණ තක්ෂිලා මාධ්‍ය මහා විදුහලේ මහේෂ් ප්‍රසන්න බණ්ඩාරට හිමි විය.

ඊයේ දිනයේ දී මීටර් 100 ඉසව්වෙන් දෙවැනි ස්ථානයට පත් වූවද අද මීටර් 200 ඉසව්වෙන් වාර්තාවක් ද සහිතව ජය ගැනීමට කොළඹ සාන්ත පීතර විදුහලේ හිරුෂ හශේන්ට හැකි විය. ඔහු නියෝජනය කරන්නේ වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයයි. මීටර් 200 බාලක ඉසව්ව තත්.22.53කින් නිමා කළ හිරුෂ එහි රන් පදක්කමට හිමිකම් කියන විට එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේ පිළිවෙළින් මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කුෂල්‍ය සහ රුහුණු විජයබා ජාතික පාසලේ තරුෂ්ක භාෂිත උඩගෙදර විසිනි.

අද දිනයේ අවසාන වශයෙන් පැවතියේ සහය දිවීමේ ඉසව් කිහිපයක් වන අතර බොහෝ දෙනාගේ අවධානය ඒ සඳහා යොමු විය. එම සහය දිවීමේ ඉසව් අතරින් ද නව තරගාවලි වාර්තා දෙකක් අලුත් කිරීමට තරගකරුවන්ට හැකි විය.

16න් පහළ බාලක 400*4 ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කිරීමට කොළඹ සාන්ත පීතර විදුහලේ ක්‍රීඩකයන්ට හැකි විය. ඔවුන්ට ඒ සඳහා මිනි.3:31:11ක කාලයක් වැය  විය. මෙම ඉසව්වේ මීට පෙර වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ මිනිත්තු 3:33:3කින් ඉසව්ව අවසන් කළ පන්නිපිටිය ධර්මපාල විදුහලයි.

අද දිනයේ දී අවසාන වශයෙන් බිඳ වැටුණ වාර්තාව වූයේ 18න් පහළ බාලක 100*4 ඉසව්වේ වාර්තාවයි. 2015 වසරේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන් විසින් තත්.42.81කින් එම ඉසව්ව අවසන් කරමින් වාර්තාව හිමිකරගෙන සිටියත් අද දිනයේ දී කොළඹ රාජකීය විදුහලේ ක්‍රීඩකයන් විසින් එම ඉසව්ව තත්.42.4කින් නිමා කරමින් එම ඉසව්වේ වාර්තාව තම පාසල නතුකර ගන්නා ලදි.

ඒ අනුව බොහෝ වාර්තා අලුත් වූ දිනයක් එලෙසින් නිමා වූ අතර හෙට (04) දිනයේ දී ද තවත් ඉසව් රැසක අවසන් ඉසව් පැවැත්වීමට නියමිතයි. එම තොරතුරු ද Thepapare.com වෙතින් ගෙන එ්මට සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<