මීටර 800යෙන් නව තරගාවලි වාර්තා 2ක්

100

අධ්‍යාපන අමාත්‍යංශය මඟින් 35 වැනි වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය අද (02) සිව්වැනි දිනටත් සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 
ඒ අනුව අද දිනය පුරාවට ද ඉතා උණුසුම් තරග ඉසව් රැසක් පැවති අතර එහි දී නව තරගාවලි වාර්තා 10ක් බිහි කරන්නට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

හෙන්ඩර්සන් දෙවැනි රන් පදක්කමත් දිනා ගනී

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 35 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා …

දිනයේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් තරග ඉසව්ව වූ මීටර 800 ධාවන ඉසව්වේ දී නව තරගාවලි වාර්තා 2ක් බිහි වීම මෙහි දී කැපී පෙනෙන්නට විය. එහි වයස අවුරුදු 18න් පහළ බාලක ධාවන ඉසව්වට එක්වෙමින් මිනිත්තු 1:52.06ක කාලයක් වාර්තා කර ගනිමින් ඉසව්ව අවසන් කළ පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලයේ ජී. ටී. තෙන්නකෝන් සහ එහි වයස අවුරුදු 16න් පහළ බාලිකා ධාවන ඉසව්වට එක්වෙමින් මිනිත්තු 2:14.27ක කාලයක් වාර්තා කර ගත් වලල ඒ. රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ ටී. ඩී. කරුණාරත්න විසින් එම වාර්තා පිහිටුවනු ලැබූහ. 

තවදුරටත් යගුලිය දැමීමේ තරග ඉසව්වේ දී ද නව තරගාවලි වාර්තා 2ක් බිහි වූයේ එහි වයස අවුරුදු 18න් පහළ බාලිකා ඉසව්වට එක්වූ කොළඹ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර විසින් මීටර 14.07ක දක්‍ෂතාවයක් දක්වමින් සහ එහි වයස අවුරුදු 16න් පහළ බාලක ඉසව්වෙන් තරග කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ නවීන් විශ්වජිත් මාරසිංහ විසින් මීටර 16.20ක දක්‍ෂතාවයක් දක්වමින් එම තරග ඉසව් සඳහා පැවති පැරණි තරගාවලි වාර්තා බිඳ දැමීමත් සමඟ යි. 

දෙවැනි දිනයේ දී නව වාර්තා 11ක්! සමස්ත වාර්තා ගණන 15ක්

35 වැනි වරටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා …

එමෙන්ම වයස අවුරුදු 18න් පහළ බාලක තුන් පිම්ම ඉසව්වෙන් තරග කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේම පසිඳු මල්ෂාන් විසින් මීටර 14.87ක දක්‍ෂතාවයක් දක්වමින් එහි තරගාවලි වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගන්නට සමත් විය. 

වයස අවුරුදු 18න් පහළ බාලක කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්වට එක්වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග විසින් මීටර 50.30ක විශිෂ්ට දක්‍ෂතාවයක් දක්වමින් එහි තරගාවලි වාර්තාව තමන් සතුකර ගනිද්දී, එම වයස් කාණ්ඩයේ ම බාලිකා රිටි පැනීමේ තරග ඉසව්වට එක්වූ යාපනය මහජන විද්‍යාලයේ සී. තීපිකා විසින් මීටර 3.25ක දක්‍ෂතාවයක් දක්වමින් නව තරගාවලි වාර්තාවකට හිමිකම් කීවේ රිටි පැනීමේ ඉසව්ව සඳහා යාපනය ප්‍රදේශය ස්ථාපිත කරගෙන සිටින නාමය තවදුරටත් ඉහළට රැගෙන යමිනි.

SAG යන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය ක්‍රීඩා අමාත්‍යංශයේ …

අද පැවැත්වුණු මීටර 300 කඩුලු මතින් දිවීමේ ඉසව් වලදී ද එක් නව තරගාවලි වාර්තාවක් බිහිවූ අතර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ එහි වයස අවුරුදු 16න් පහළ බාලක තරග ඉසව්ව නියෝජනය කරනු ලැබූ රත්නපුර සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ඕ. වී. ආරියවංශ විසිනි. එහිදී ඔහු එම තරග වාර්තාව පිහිටුවීම සඳහා වාර්තා කරගත් කාලය තත්පර 38.52කි.

තවදුරටත් වයස අවුරුදු 12න් පහළ බාලක මීටර 60 ධාවන ඉසව්වේ දී තත්පර 8.43ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්ව අවසන් කළ සාගලපුර කණිෂ්ට විද්‍යාලයේ ටී. ඩී. රාජනායක සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ ශෙවාන් අබේසිංහ දෙපළ එහි නව තරගාවලි වාර්තාවට හිමිකම් කියද්දී එහි බාලිකා ධාවන ඉසව්වේ දී ද නව තරගාවලි වාර්තාවක් බිහි කරන්නට තත්පර 8.59ක කාලයක් වාර්තා කරගත් තණමල්විල විජයපුර කණිෂ්ට විද්‍යාලයේ රවිඳි වෙනුරිකා සමත් වූවාය.

ඒ අනුව දින 4ක් පුරාවට පැවති තරග අවසානයේ බාලක සමස්ත ශූරතාවය සඳහා වන ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමස්ත ලකුණු 111ක් හිමිකරගෙන සිටින බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත්ව ඇති අතර එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ ලකුණු 56ක් හිමිකරගෙන සිටින හලාවත සාන්ත මරියා විද්‍යාලය යි. ලකුණු 55ක් සමඟින් තෙවන ස්ථානයේ පසුවන්නේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය යි.

අනෙක් පසින් බාලිකා සමස්ත ශූරතාවය සඳහා වන ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සුපුරුදු පරිදි සමත්ව ඇත්තේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය යි. ඒ සමස්ත ලකුණු 179කට හිමිකම් කියමිනි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ලකුණු 65ක් සමඟින් රත්නපුර සුමන බාලිකා විද්‍යාලයත්, ලකුණු 54ක් සමඟින් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසැලත් හිමිකරගෙන සිටිති.

තරගාවලියේ පස්වැනි සහ අවසන් දිනය හෙටයි (03). ඒ අනුව තරගාවලියේ තවත් තීරණාත්මක උණුසුම් අවසන් මහා තරග රැසක් හෙට දිනය පුරාවට ද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත.  

තරගාවලියේ වැඩිදුර තොරතුරු, නව පුවත්, ඡායාරූප, වීඩියෝ පට ඇතුළු තවත් විශේෂාංග රැසක් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<