වේල්ස් කුමර සහ මැදබැද්ද විදුහල් ශූරතාවය ජය ගනී

1465

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලක හා බාලිකා තරගාවලිය ඊයේ (17) මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේ දී අවසන් විය. එහි දී බාලිකා අංශයේ ශූරතාවය සුපුරුදු පරිදි ගලේවෙල මැදබැද්ද විද්‍යාලයීය ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කළ අතර බාලක අංශයේ ශූරතාවය ද සුපුරුදු පරිදි ජයග්‍රහණය කරන්නට සමත් වූයේ මොරටුව වේල්ස් කුමර විදුහල් කණ්ඩායමයි.

පළමු වටයේ තරග අවසන්

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ තරගවල පළමු වටයේ තරග පසුගිය දින දෙක තුළ…

තරගාවලියේ පළමු දින දෙක තුළ පළමු වටයේ තරග සහ එක් එක් කුසලානවල අර්ධ අවසන් පූර්ව තරග අවසන් කරන්නට සංවිධායක මණ්ඩලය සමත් විය. ඒ අනුව තරගාවලියේ තුන්වන හා අවසාන දිනය වූ ඊයේ දිනයේ දී පැවැත්වුණේ එක් එක් කුසලානෙවල අර්ධ අවසන් තරග, 3 වන ස්ථානය තේරීමේ තරග සහ අවසන් මහා තරගයි.

ඒ අනුව පැවති එම තර‍ෙවල ප්‍රතිඵල මෙසේය.

බාලක අංශය – අර්ධ අවසන් තරග

බඳුන ශූරතාවය

  • කොට්ටාව ධර්මපාල විද්‍යාලය 05 – 04 නාලන්ද විද්‍යාලය (B)
  • ශාන්ත අන්තෝනි විදුහල 11 – 13 ඩී. එස්. සේනානායක විදුහල (B)

පළඟ ශූරතාවය

  • වේල්ස් කුමර විදුහල (B) 10 – 04 සිරි සුනන්ද විද්‍යාලය
  • නාලන්දා විද්‍යාලය (A) 10 – 04 ඉසිපතන විද්‍යාලය (B)

ශූරතා කුසලානය

  • ආනන්ද විද්‍යාලය 06 – 11 මැදබැද්ද විද්‍යාලය
  • ඉසිපතන විද්‍යාලය (A) 06 – 10 වේල්ස් කුමර විදුහල (A)

බාලිකා අංශය – 3 වන ස්ථානය සඳහා පැවති තරග

  • බඳුන ශූරතාවය: බෞද්ධ කාන්තා විද්‍යාලය (B) 02 – 04 දේවි බාලිකා විද්‍යාලය (B)
  • පළඟ ශූරතාවය: ගෝතමී බාලිකා විද්‍යාලය 03 – 02 හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
  • ශූරතා කුසලානය: ශාන්ත ජෝසප් විද්‍යාලය 01 – 05 යහපත් එඩේරාගේ කන්‍යාරාමය

බාලක අංශය – 3 වන ස්ථානය සඳහා පැවති තරග

  • බඳුන ශූරතාවය: නාලන්ද විද්‍යාලය (B) 07 – 11 සාන්ත අන්තෝනි විදුහල
  • පළඟ ශූරතාවය: සිරි සුනන්ද විද්‍යාලය 05 – 08 ඉසිපතන විද්‍යාලය (B)
  • ශූරතා කුසලානය: ආනන්ද විද්‍යාලය 09 – 11 ඉසිපතන විද්‍යාලය (A)

බාලිකා අංශය – අවසන් තරග

  • බඳුන ශූරතාවය: ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය 04 – 03 සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය
  • පළඟ ශූරතාවය: බෞද්ධ කාන්තා විද්‍යාලය (A) 05 – 07 දේවි බාලිකා විද්‍යාලය (A)
  • ශූරතා කුසලානය: වේල්ස් කුමරි විදුහල – මැදබැද්ද විද්‍යාලය

තරගාවලියේ බාලිකා අංශයේ අවසන් මහා තරගය පැවැත්වුණේ ප්‍රබල මැදබැද්ද විද්‍යාලයීය කණ්ඩායම සහ මොරටුව වේල්ස් කුමරි විදුහල් කණ්ඩායම අතරයි. පසුගිය වසර කිහිපය පුරාවටම තරගාවලියේ බාලිකා අංශයේ ශූරයින් බවට පත්වූයේ මැදබැද්ද විදුහල් කණ්ඩායමයි. ඒ අනුව මෙම තරගයේ දී ද ඔවුන් ඉතා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ අතර වේල්ස් කුමරි ක්‍රීඩිකාවන්ට තරගයට අවතීර්ණ වීමට ඔවුන් කිසිදු ඉඩක් ලබා දුන්නේ නැත. ඒ අනුව බාලිකා අංශයේ තරග අවසන් වූයේ නැවතත් එහි ශූරතාවය ගලේවෙල මැදබැද්ද විදුහල් කණ්ඩායම හිමිකර ගනිමිනි.

  • වේල්ස් කුමරි විදුහල 04 – 10 මැදබැද්ද විද්‍යාලය

බාලක අංශය – අවසන් තරග

  • බඳුන ශූරතාවය: කොට්ටාව ධර්මපාල විද්‍යාලය 06 – 07 ඩී. එස්. සේනානායක විදුහල (B)
  • පළඟ ශූරතාවය: වේල්ස් කුමර විදුහල (B) 08 – 07 නාලන්ද විද්‍යාලය (A)
  • ශූරතා කුසලානය: වේල්ස් කුමර විදුහල (A) – මැදබැද්ද විද්‍යාලය

මෙම වසරේ දී ද සුපුරුදු පරිදි ප්‍රබල වේල්ස් කුමර විදුහල් ‘A’ කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුඅසුකම් ලැබූ අතර මෙවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගලේවෙල මැදබැද්ද විද්‍යාලයීය බාලක කණ්ඩායමයි. තරගය ආරම්භයට පෙර සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ වේල්ස් කුමර කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක නදුන් ප්‍රනාන්දුගේ ඊයේ දිනට යෙදී තිබුණු උපන් දිනය ක්‍රීඩා පිටිය තුළ සැමරීමයි. නදුන් අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා ජාතික අත්පන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ද වේ.

තරගයේ පළමු අර්ධය තුළ ප්‍රතිවාදීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට ප්‍රබල වේල්ස් කුමරුවන් සමත් විය. වේල්ස් කුමර කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව හමුවේ මැදබැද්ද ක්‍රීඩකයින් දැඩි අපහසුතාවයට පත්විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය පුරාවටම වේල්ස් කුමරුවන් ක්‍රීඩා කළ ආකාරයට මෙවරත් ශූරතාවය පහසුවෙන් ඔවුන් සතු වෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළේය.

නමුත් තරගයේ දෙවන අර්ධය ආරම්භ වූ පසු තරගයේ තත්වය කණපිට හැරිණ. මැදබැද්ද ක්‍රීඩකයින් වඩාත් හොඳින් තරගයට අවතීර්ණ වූ අතර ප්‍රබල වේල්ස් කුමර කණ්ඩායම තරමක් පසුගාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය. ඒ අනුව තරගයේ දෙවන අර්ධයේ මුල් මිනිත්තු කිහිපය තුළ තමන්ගේ ආධිපත්‍ය පතුරුවා ගන්නට මැදබැද්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය. මේ අනුව ඉතා ආසන්න ලකුණු තත්වයක් යටතේ කණ්ඩායම් දෙකම කරට කර තරග වදින්නට විය. කෙසේ වුවත් නැවතත් තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී වේල්ස් කුමරුවන් ඔවුන්ගේ සුපුරුදු රිද්මයට නැවතත් ළඟා වන්නට සමත් විය. ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව අඛණ්ඩව 05 වන වසරටත් තරගාවලියේ ශූරතාවය තම පාසලට රැගෙන යන්නට වේල්ස් කුමර විදුහල් ‘A’ කණ්ඩායම සමත් විය.

  • වේල්ස් කුමර විදුහල (A) 15 – 13 මැදබැද්ද විද්‍යාලය

මේ අනුව සියලු තරග අවසානයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ජය සංකේත ප්‍රදානය කිරීම සිදු විය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට